කාශ්මීර ප්‍රහාරය: ජනපති මෛත්‍රී අගමැති මෝදි අමතයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දීය පාලිත කාශ්මීරයේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දීය අගමැතිවරයා වෙත සිය ශෝකය පළ කළේය.
දුරකථනය ඔස්සේ ඉන්දීය අගමැති නෙරේන්ද්‍ර මෝදි ඇමතූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ හමුදා කඳවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමින් ශෝකය පළ කළ බවයි ඉන්දීය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
පාකිස්තානය පාලනයේ පවතින කාශ්මීරයේ දේශ සීමාව ආසන්නයේ ඌරි ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් දාහත් දෙනකු මරුමුවට පත් විය.
එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මරුමුවට පත් හමුදා භටයන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කළ බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කලාපයේ රටවල් අතර තිරසාර සහයෝගීතාවක් පවත්වා ගැනීම සහ ත්‍රස්තවාදය පිටුදැකීමේ අවශ්‍යතාව පිළිබඳවත් දෙරටේ නායකයන් සාකච්ඡා කළ බවත් ඉන්දීය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
මේ අතර ඉන්දීය පාලිත කාශ්මීරයේ සිට පාකිස්තාන පාලිත කාශ්මීරයට පලා යාමට තැත් කළ කැරලිකරුවන් ලෙසින් සැක කෙරෙන දස දෙනකු මරා දැමූ බව ඉන්දීය ආරක්ෂක හමුදාව පවසයි.
එම පිරිස ඌරි ප්‍රදේශයට ඇතුළු වීමට උත්සාහ කළ බවටයි හමුදාව චෝදනා කරන්නේ.
මෑත යුගයේදී ඉන්දීය හමුදාවට එරෙහිව එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය වන අතර ඒ හේතුවෙන් ඉන්දියාව සහ පාක්ස්තානය අතර උණුසුම උත්සන්න වෙමින් පවතියි.
ගතව ගිය සති දහයක කාලය ඇතුළත ඉන්දීය පාලිත කාශ්මීරයේ පැවති බෙදුම්වාදී උද්ඝෝෂණවලදී අනූවකට ආසන්න පිරිසක් මරුමුවට පත් වී තිබේ.










