කාශ්මීරයේ වෙඩි තැබීමකින් ආරක්ෂක සාමාජිකයන් තිදෙනෙක් මරුට

මරුමුවට පත් ආරක්ෂක සාමාජිකයකුගේ දේහය රැගත් පොලිස් සහ හමුදා නිලධාරීන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මරුමුවට පත් ආරක්ෂක සාමාජිකයකුගේ දේහය රැගත් පොලිස් සහ හමුදා නිලධාරීන්
Published

ඉන්දීය කාශ්මීරයේ කැරලිකරුවන් බවට සැක කෙරෙන පිරිසක් විසින් සැඟවී සිදු කළ වෙඩි තැබීමකින් ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනකු මරුමුවට පත් වී තිබේ.

ශ්‍රීනගර්හි බටහිර ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටි ආරක්ෂක සාමාජිකයන් රැගත් රථ පෙළකට තුවක්කුකරුවන් වෙඩි තබා ඇති බවයි බලධාරීන් පවසන්නේ.

ප්‍රහාරයට ලක් වී තවත් තිදෙනකු තුවාල ලබා තිබේ.

ජනතාව අතර ප්‍රචලිත තරුණ කැරලි නායකයකු ආරක්ෂක අංශ විසින් පසු ගිය ජුලි මාසයේදී මරා දමනු ලැබීමත් සමග ඊට එරෙහිව ඉන්දීය කාශ්මීරයේ උද්ඝෝෂණ ආරම්භ විය.

පසුගිය සති කීපය තුළ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හැටකට අධික පිරිසක් මරුමුවට පත් වී තිබේ.

ඉන්දීය කාශ්මීරයේ පවතින වත්මන් තත්වය සොයා බැලීම සඳහා ඉන්දියාවේ හමුදාපති ජෙනරාල් දල්බිර් සුහග් බදාදා එහි සංචාරය කිරීමට නියමිතයි.