බංග්ලාදේශ් ඇඟලුම් නිපැයුම් සඳහා වැඩිමිලක්

බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල්වල තත්වය නංවාලීම සඳහා දෙන සහයෝගයක් වශයෙන් එරට නිෂ්පාදනය කරන ඇඟලුම් සඳහා වැඩිපුර මුදල් ගෙවන මෙන් ලෝක කම්කරු සංවිධානය විදේශීය ගැනුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.
ලෝක කම්කරු සංවිධානයේ ප්‍රධානියා වන ගයි රයිඩර් (Guy Ryder) විසින් ඉහත කී ඉල්ලීම කරන ලද්දේ බංග්ලාදේශයේ සංචාරයක නිරතවෙමින් සිටින අතරවාරයේ බීබීසිය සමග සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක් වන ලෝක කම්කරු සංවිධානයේ ප්‍රධානියාගේ බංග්ලාදේශ් සංචාරය සිදු කෙරෙන්නේ 'රානා ප්ලාෂා'ඇඟලුම් කම්හල කඩා වැටීමේ අනතුරට අවුරුදු තුනක් සම්පූර්ණ වීමත් සමඟයි.

එම අනතුරින් 'රානා ප්ලාෂා'ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් එක්දහස් එකසීයකට අධික ජීවිත විනාශයක් වාර්තා විය.
පවතින අනාරක්ෂිත තත්වය හමුවේ ඉහත කී අනතුරින් පසුව බංග්ලාදේශයේ තවත් කුඩා පරිමාණයේ ඇඟලුම් කම්හල් විශාල සංඛ්‍යාවක් වසා දැමීමට සිදුවූ බව ලෝක කම්කරු සංවිධානයේ ප්‍රධානී ගයි රයිඩර් පවසයි.

බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල්වලින් අඩකට ආසන්න සංඛ්‍යාවක තවමත් අනාරක්ෂිත තත්වයක පවතින බව කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින විදේශීය සංවිධාන පසුගිය මාසයේ පෙන්වා දුන්හ.




