කාන්තා සෞඛ්‍යයට 'අහිතකර චීන නිෂ්පාදන' වෙළඳපොළේ

Sanitary towels

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝටියකට අධික ව්‍යාජ සනීපාරක්ෂක තුවා තොගයක් සිය භාරයට ගත් බව මහජන ආරක්ෂණ කාර්යාංශය පවසයි

චීනයේ ව්‍යාජ සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ මහා පරිමාණ කූට ව්‍යාපාරයක් පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමග කාන්තාවන්ගේ සෞඛ්‍ය වෙත බලපෑම් එල්ල වීමේ අවදානමක් පිළිබඳ බියක් මතු වී තිබේ.

දස ලක්ෂ ගණනක් ව්‍යාජ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන ලද බවට විශ්වාස කෙරෙන පුද්ගලයන් දෙදෙනකු ජියන්ෂි පළාතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

2013 වසරේ සිට එම සනීපාරක්ෂක තුවා චීනය පුරා අලවි කොට ඇති බව විශ්වාස කෙරේ.

මිල අඩු කළ නිෂ්පාදන මිලදී ගැනීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බවට චීන බලධාරීහු අනතුරු හඟවති.

විෂබීජ නැසීමේ පහසුකම් නොමැති කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කරන ලද ඩොලර් ලක්ෂ හැටකට ආසන්න අලවි වටිනාකමකින් යුත් ව්‍යාජ සනීපාරක්ෂක තුවා තොගයක් සිය භාරයට ගත් බව නැන්චෑන් නගරයේ මහජන ආරක්ෂණ කාර්යාංශය පවසයි.

Chinese People's Daily screengrab

ඡායාරූප මූලාශ්‍රය, People's Daily / Sina Weibo

ABC හෝ Whisper යන චීනයේ ප්‍රමුඛ පෙළ වෙළඳ නාම යටතේ එම ව්‍යාජ සනීපාරක්ෂක තුවා තොග වශයෙන් වෙළඳසැල්වලට අලවි කොට ඇති බව නැන්චෑන් පුවත් සේවය වාර්තා කරයි.

චීනයෙන් පිටත වෙනත් රටවල එම ව්‍යාජ සනීපාරක්ෂක තුවා බෙදා හැර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ව්‍යාජ සනීපාරක්ෂක තුවා අසුරන තරමක් තද පාටින් නිෂ්පාදනය කොට ඇති බව වාර්තා වන අතර මිලදී ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස බලධාරීහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිති.