'කැලේ' කඳවුරට අවසන් නිවේදනයක්

Calais

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සෙනසුරාදා රාත්‍රියේ සරණාගතයන් සහ පොලීසිය අතර ගැටුම් ඇතිවූ බවයි වාර්තා වන්නේ

සඳුදා විනාශ කර දැමෙන 'කැලේ' අනවසර සංක්‍රමණික කඳවුරෙන් ඉවත්වීම ආරම්භ කරන ලෙස දහස් ගණනක් සරණාගතයන්ට බලකෙරෙන පත්‍රිකා බෙදාහැරීමට ප්‍රංශ බලධාරීන් විසින් තීරණය කර ඇත.

'ජංගල්' නමින් හැඳින්වෙන මෙම ප්‍රදේශය තුළ බ්‍රිතාන්‍යයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින දස දහසක් පමණ පිරිසක් ලැගුම් ගෙන සිටිති.

දැනට එහි ඇති තාවකාලික ලැගුම්හල් වලට ඔරොත්තු නොදෙන තරමේ පුද්ගලයන් සංඛ්‍යාවක් එහි ලැගුම්ගෙන සිටීම හේතුවෙන් ඉතා අපිරිසිදු තත්වයෙන් පවතී.

සිකුරාදා ප්‍රංශ ස්වදේශකටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ 'කැලේ' කඳවුරේ සිටින පිරිස් ප්‍රංශයේ වෙනත් ස්ථාන වෙත ගෙනගොස් නවාතැන් සපයා එහිදී ඔවුන්ට සරණාගතභාවය පිණිස අයදුම් කිරීමට අවස්ථාව සලසන බවය.

සදුදා සිදුකෙරෙන ඉවත්කිරීමේ මෙහෙයුමේ දී බලය යෙදවීමට බලාපොරොත්තු නොවන බව පවසන ප්‍රංශ බලධාරීහු සරණාගතයන් කඳවුරෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළහොත් පමණක් මැදිහත්වීමට සිදුවන බව පවසති.