සංක්‍රමණික ළමුන් දස දහසක් අතුරුදන්

පසුගිය වසර කිහිපය තුළ යුරෝපයට ඇතුළුවීමට උත්සාහ දැරූ විවිධ වයස් කාණ්ඩවලට අයත් අනවසර සංක්‍රමණිකයෝ දහස් ගණනක් යාත්‍රා පෙරලීමෙන් සහ වෙනත් හේතු නිසා මුහුදට බිලිවූහ.
ඒ අතර සිටි ළමුන් සංඛ්‍යාව ද අති විශාලවන අතර වසරකට පමණ පෙර මෙලෙස යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් මධ්‍යධරණී මුහුදු වෙරළට පාවී ආ 'ඇලන් කුර්දි' නමැති සිරියානු දරුවාගේ මළ සිරුර මුළු ලෝකයේම අවධානයට ලක්විය.
යුරෝපා සංගමයේ පොලිස් රහස් ඔත්තුසේවා අංශය වන 'යුරෝපෝල්' වාර්තාවලට අනුව පසුගිය වසර දෙකක කාලයක් තුළ භාරකරුවෙකු නොමැතිව යුරෝපයට අනවසරයෙන් සංක්‍රමණයවූ ළමුන් දස දහසක් පමණ අතුරුදන්වී තිබේ.
එක්සත් රාජධානියේ යුනිසෙෆ් ආයතනයේ ලිලි කප්රානි පවසන්නේ මෑතකදී ප්‍රංශ රජය විසින් විනාශකරන ලද අනවසර සංක්‍රමණිකයන් දිවි ගෙවන 'කැලේ' නමැති සරණාගත කඳවුරේ සිටි ළමුනට සිදුවූයේ කුමක්දැයි කිසිවකු නොදන්නා බවය.

පසුගිය වසරේ පමණක් භාරකරුවන් නොමැති ළමුන් 90,000ක් යුරෝපයට සංක්‍රමණය වී ඇත.
යුරෝපයේ දී අතුරුදන්වූ දරුවන් වෙනුවෙන් කටයුතු කරන 'මිසිං චිල්ඩ්රන් යුරොප්' සංවිධානයේ ලේකම් ඩෙල්පයින් මොරාලිස් පවසන්නේ භාරකරුවන් නොමැතිව ළමුන් තනිවම යුරෝපයට පැමිණීමට හේතු කිහිපයක් ඇති බවය.
ඒ අනුව යුද ගැටුම්වලින් සහ දුප්පත්කමින් පීඩාවට පත්වූ රටවල සිටින ඇතැම් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට වඩාත් යහපත් ජීවිතයක් ලබාදීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් තනිවම යුරෝපයට එවති.
එසේම ඇතැම් දරුවන්ගේ දෙමව්පියන් මුහුද මැදදී මරණයට පත්වූ අවස්ථා ද ඇත.

'මිසිං චිල්ඩ්රන් යුරොප්' සංවිධානයේ වාර්තාවලට අනුව 2015 වසරේ භාරකරුවන් නොමැතිව යුරෝපයට සංක්‍රමණය වූ ළමුන්ගෙන් 91% ක් පිරිමි ළමුන් වූ අතර ඔවුන්ගෙන් 51% ක් ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි ළමුන් වේ.
එහෙත් මෑතක සිට භාරකරුවන් නොමැතිව යුරෝපයට පැමිණෙන සංක්‍රමණික ළමුන්ගෙන් වැඩි දෙනෙකු ගැහැණු ළමුන් බව වාර්තාවල දක්නට ඇත.








