වකුගඩු රෝගයට හේතුව 'කැඩ්මියම්, ග්ලයිෆොසෙට් හෝ ආසනික් බව සනාථ වී නෑ'

ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ග්‍රාමීය ගොවි ප්‍රජාව අතර පැතිර යමින් පවතින වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කවරක්ද යන්න මෙතෙක් සනාථ වී නැතැයි චීන, ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් පවසයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම්, ආසනික් හෝ ග්ලයිෆොසේට් වැනි විෂ රසායනික ද්‍රව්‍ය බව වකුගඩු රෝගය සම්බන්ධයෙන් මෙතෙක් පවත්වන ලද තිස් දෙකකට ආසන්න පර්යේෂණ වාර්තා මගින් සනාථ වී නැති බව විශේෂඥ කණ්ඩායමේ මතයයි.
අදාළ වාර්තා සියල්ල ඇසුරු කොට වකුගඩු රෝගයට හේතු සෙවීමේ 'මාර්ග සිතියමක්' (Road Map) සකස් කළ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායම, පසුගියදා එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදුන්නේය.
එම පර්යේෂණ කණ්ඩායමේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වන ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු ආචාර්ය එස්කේ වේරගොඩ <link type="page"><caption> බීබීසී සංදේශයට කියා සිටියේ</caption><url href="https://audioboom.com/boos/4326738-2016-20" platform="highweb"/></link>, රෝගය පැතිර පවත්නා කලාපය තුළ හමුවන කැඩ්මියම් සහ ආසනික් සංයුතිය සැලකීමේ දී ඒවා වකුගඩු රෝගයට හේතුවන්නේ යැයි කිසිදු ආකාරයකින් මෙතෙක් සනාථ වී නැති බවයි.

"ඇත්තටම මෑත කාලයේ දී පර්යේෂණ කළ කණ්ඩායම් අතරින් මම ලංකාවේ වැඩිපුරම ජල සාම්පල සංඛ්‍යාවක් පරීක්‍ෂා කරපු කණ්ඩායමේ සාමාජිකයෙක්. අපි ලංකාවේ ජල සාම්පල ජපානයේ ඉතාම ඉහළ ගණයේ පරීක්ෂණාගාර තුළ දී පරීක්ෂාවට ලක් කළා," ඔහු පැවසීය.
"මට දැඩි වගකීමෙන් කියන්න පුළුවන්, ඔය කියන කලාපය තුළ කැඩ්මියම් හෝ ආසනික් හමුවෙන්නේ නැහැ. ආසනික් වලට ප්‍රසිද්ධම රට වෙන්නෙ බංග්ලාදේශය. බංග්ලාදේශයේ ආසනික් හේතුවෙන් ඇතිවන වකුගඩු රෝගීන් ගේ රෝග ලක්ෂණ කිසිවක් අපේ රෝගීන් තුළ අපි දකින්න නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.
- <link type="page"><caption> ආචාර්ය එස්කේ වේරගොඩ සමඟ සාකච්ඡාවට සවන්දෙන්න</caption><url href="https://audioboom.com/boos/4326738-2016-20" platform="highweb"/></link>
ඒ ආකාරයටම ග්ලයිෆොසේට් වල බලපෑමක් තිබෙන බව සනාථ කිරීමට ප්‍රමාණවත් පර්යේෂණ සිදුවී නැති බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තා ගණනාවක් ඉදිරිපත් වී තිබෙන බව පෙන්වාදෙන ඔහු, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත්කළ වාර්තාව සහ ජනාධිපති කාර්ය සාධකය මගින් සැකසූ වාර්තාව ඇතුළු වාර්තා සියල්ලෙහි දත්ත එකතු කොට වඩාත් විධිමත් පර්යේෂණයක් කිරීම පිණිස චීන විද්‍යා ඇකඩමිය සහ ජල සම්පාදනය පිලිබඳ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර ඇතිකර ගත් සහයෝගිතා ගිවිසුම ප්‍රකාර මෑත කාලයේ දී පර්යේෂණ සඳහා ලැබෙන විශාලතම අරමුදල චීනයෙන් ලබාගැනීමට නියමිත බවත් පැවසීය.
කල්පිත
අදාළ ගිවිසුම මගින් කරුණු හතරක් පිළිබඳව අවධානය යොමුකර ඇති අතර ඉන් එක් ප්‍රධාන කරුණක් වන්නේ ලංකාව පුරා දැනට දැඩි කතාබහට ලක් වී ඇති වකුගඩු රෝගය පිළිබඳව පරීක්ෂණ ඉදරියට ගෙන යාමයි.
"මේ වෙනකොට වකුගඩු රෝගය පිළිබඳව කල්පිතයන් තිස් ගණනකට වඩා ඉදිරිපත් වෙලා තියනව. අපිට පෙනෙන්න තියන දේ තමයි මේ සියලුම පර්යේෂකයන් තනිවමයි තමන්ගේ පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නෙ,"ආචාර්ය එස්කේ වේරගොඩ සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
"ඒ නිසා මේ ව්‍යාපෘතියේ පරමාර්ථය වෙන්නෙ මේ පර්යේෂකයන් මේ දක්වා රැස් කළ දත්තයන් සියල්ල රැස් කොට ඉදිරි පර්යේෂණ සඳහා වැඩපිළිවෙලක් සකසා ගැනීම."
චීනයෙන් ලැබෙන මෙම පර්යේෂණ අරමුදල යොදාගනිමින්, 'මාර්ග සිතියම' ප්‍රකාර ඉදිරි වසර පහ ඇතුලත ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට හේතුකාරක වන කරුණු සොයාගැනීම සිය ව්‍යාපෘතියේ අරමුණ බව ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්කේ වේරගොඩ වැඩිදුරටත් පැවසීය.








