වකුගඩු රෝගයෙන් පීඩා විඳින වව්නියාව

    • Author, දිනසේන රතුගමගේ
    • Role, වවුනියාවේ සිට

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් සංඛ්‍යාවෙන් දෙවන තැනට වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ වවුනියාව දිස්ත්‍රික්කයෙන් බව උතුරු පලාත් සභා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් පවසයි.

දැනට වකුගඩු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගීන් දසදහසක් පමණ සිටින බව කියා සිටි ඔහු වවුනියාව දිස්ත්‍රික්කයේ සිටින වකුගඩු රෝගීන් සංඛ්‍යාව පන්දහස ඉක්මවන බවද සඳහන් කළේය.

වවුනියාවේ සිටින වකුගඩු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් උතුරු පළාතේ රෝහල් හතරක විශේෂ වකුගඩු වෛද්‍ය සායන ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය පී. සත්‍යලිංගම් කියා සිටියේ.

වවුනියාව ඇතුළු උතුරු පළාතේ සියලු වකුගඩු රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ අනුරාධපුරය හා මැදවච්චිය රෝහල් වලට බව පැවසු පී. සත්‍යලිංගම් දෙමළ ජාතික රෝගීන් එම පළාත් වල රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී භාෂා ප්‍රශ්නය උද්ගත වීම නිසා රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද විශාල ප්‍රශ්නයකට මුහුණ පා සිටින බව පැවසීය.

අධික වියදම

උතුරු පළාතේ වකුගඩු රෝගීන් කීප දෙනෙකු සමග කළ සාකච්ඡාවක දී ඔවුන් කියා සිටියේ වවුනියාවේ සිට සැතපුම් විසිපහක දුරක් මැදවච්චියටත්, සැතපුම් හතළිහක දුරක් අනුරාධපුරයටත් සිය රෝගී තත්ත්වය සමග ගමන් කිරීමට සිදු වීම නිසා ඔවුන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි.

අසාධ්‍ය වකුගඩු රෝගීන් අනිවාර්යයෙන් වාහනයකින් රෝහල කරා ගෙන යා යුතු අතර එක් ගමන් වාරයක් වෙනුවෙන් වාහන කුලිය රුපියල් දොළොස් දහසක් පමණ වෙතැයිද ඔවුන් කියා සිටියා.

රජයේ රෝහල් වලින් ලබා දෙන ඖෂධ වර්ග වලින් මිල අධික ඖෂධ වර්ග නිතරම හිඟ බැවින් එම ඖෂධ මිලදී ගැනීමට රෝගියෙකුට සති දෙකකට වරක් රුපියල් තුන්දහස් පන්සීයක පමණ වියදමක් දැරීමට සිදු වන බවයි රෝගීන් ප්‍රකාශ කළේ.

පොදු ගමනාගමන පහසුකම් භාවිතා කරමින් රෝහල කරා යන විට ගමන් ගාස්තුව සහ ආහාර පාන වියදම සමග සති දෙකකට වියදම රුපියල් පන්දහස ඉක්මවන බවද ඔවුන් කියා සිටියා.

රෝගීන්ගෙන් රජයට ඉල්ලීම්

වකුගඩු රෝගීන් සඳහා වූ විශේෂ දීමනාවක් රජයෙන් ලබා නොදීම දැඩි අසාධාරණයක් බව පෙන්වා දෙන රෝගීන් දැනට රජයෙන් තමන්ට ලැබෙන්නේ සියලු රෝගීන් සඳහා ලැබෙන රුපියල් පන්සීයක දීමනාව පමණක් බවද පැවසීය.

දැනට රෝගය වැළඳී ඇති රෝගීන්ට රෝගී තත්ත්වය පාලනය කර ගැනීම පිණිස නොමිලේ ජල පෙරන ලබා දීම, සෑම රෝහලකට ම වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය පහසුකම් සැලසීම වැනි පියවර රජය විසින් ගත යුතු බවයි වකුගඩු රෝගීන් පෙන්වා දෙන්නේ.