වකුගඩු රෝගයට 'ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට්'

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library
ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක දරුණු වකුගඩු රෝගයක් පැතිර යාමට ප්‍රධානම හේතුව පානීය ජලයේ අඩංගු ග්ලයිෆොසෙට් විෂ රසායනය බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජයසුමන අවධාරණය කරයි.
වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිරයාම වැළැක්වීමේ උත්සාහයක නිරතව සිටින ආචාර්ය චන්න ජයසුමන ඒ බව කියා සිටියේ වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව ආහාරවල අඩංගු කැඩ්මියම් බවට ශ්‍රී ලාංකික පර්යේෂකයකු මීට ඉහතදී පළ කළ මතයට ප්‍රතිචාරය පළ කරමින්.
ආහාරවල අඩංගු කැඩ්මියම් පාලනය කිරීමට පියවර නොගන්නේ නම් ඉතා ඉක්මනින්ම රෝගය රටපුරාම පැතිර යා හැකි බවට පසුගියදා ලන්ඩනයේදී සිය පර්යේෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ ලන්ඩනයේ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල අනතුරු ඇඟවීය.

එහෙත් ආහාරවල අඩංගු කැඩ්මියම් ප්‍රමාණය වකුගඩු රෝගය සඳහා යම් තාක් දුරට බලපාන නමුත් රජරට ප්‍රදේශය ඇතුළු වියලි කලාපයේ වකුගඩු රෝගය පැතිර යෑමට ප්‍රධාන හේතුව කැඩ්මියම් නොවන බව මෑතදී පවත්වන ලද පර්යේෂණ හතරකින්ම අනාවරණය වී ඇති බවයි <link type="page"><caption> ආචාර්ය චන්න ජයසුමන</caption><url href="https://audioboom.com/boos/3893071-2015-01" platform="highweb"/></link> අවධාරණය කරන්නේ.
"ඇඟට ඇතුල්වෙන කැඩ්මියම් ප්‍රමාණය මේ ආකාරයේ වකුගඩු රෝගයක් ඇතිවෙන්න ප්‍රමාණවත් නෑ වගේම තමයි සාමාන්‍ය කැඩ්මියම් විෂවීමකදී දකින්න ලැබෙන අනෙකුත් රෝග ලක්ෂණ කිසිවක් මේ රෝගීන්ගේ දක්නට ලැබෙන්නේ නැහැ," වෛද්‍ය ජයසුමන සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.
"කැඩ්මියම් ප්‍රධානම හේතුව නොවුනත්, කැඩ්මියම්වල පැහැදිලි ලෙසම බලපෑමක් තියෙනව මේ වකුගඩු රෝගයට."

වියලි කලාපයේ පැතිර යන වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව ග්ලයිෆොසෙට් වල් නාශකය බව ඔහු අවධාරණය කරයි. (ආචාර්ය ජයසුමන සමඟ සාකච්ඡාවට සවන් දෙන්න: https://audioboom.com/boos/3893071-2015-01)
"ග්ලයිෆොසෙට් වල් නාශක කිවුල වතුර තියන ප්‍රදේශවල පොලවේ කිවුලත් එක්ක එකතු වෙලා තැන්පත්වීමෙන් අවසාන වශයෙන් ශරීරගතවීම තමයි මේකට ප්‍රධාන හේතුව. හැබැයි ග්ලයිෆොසෙට් සහ කිවුල එකතු වුනහම ඒ තැන්වල කැඩ්මියම්, ආසනික්, නිකල්, ක්‍රෝමියම් වගේ අනෙකුත් බර ලෝහත් රැඳෙනවා."
සිය පර්යේෂණවලට අනුව ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට කැඩ්මියම් බලපා තිබෙන්නේ 10-20% අතර ප්‍රමාණයක් බව පෙන්වාදෙන වෛද්‍ය චන්න ජයසුමන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2013 දී පවත්වන ලද පර්යේෂණයේදී පවා එවැනි නිගමනයකට එළඹී නොමැති බව බීබීසී සංදේශයට පැවසීය.
"ඔවුන් ඉතාම පැහැදිලිව අවදානම් සාධක තුනක් හඳුනාගෙන තියෙනව. ආසනික්, කැඩ්මියම් සහ පලිබෝධනාශක."

ඡායාරූප මූලාශ්‍රය, YouTube
එම පර්යේෂණයට අනතුරුව කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලය සමඟ එක්ව තමන් පැවැත්වූ පර්යේෂණයේදී ග්ලයිෆොසෙට් වල් නාශකවල බලපෑම පැහැදිලිවම හඳුනා ගන්නා ලද බව පවසන රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා, බ්‍රිතාන්‍යයේ කිංග්ස් කොලේජ් විශ්ව විද්‍යාලය විසින් මෑතදී පවත්වන ලද පර්යේෂණයකින් එය තහවුරු වී තිබෙන බවත් සංදේශයට පැවසීය.
"ඒ නිසයි මම නැවතත් කියන්නේ කැඩ්මියම් කියන්නේ උත්ප්‍රේරකයක්; රෝගය උත්සන්න කරවන සාධකයක් මිසක් රෝගය හටගන්නා මුල් සාධකය නොවෙයි."
මේ තත්වය යටතේ වියලි කලාපයේ පැතිරයමින් පවතින රෝගය පාලනය කිරීම පිණිස එම කලාපයේ ගොවීන් ඇතුළු ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට වත්මන් ආණ්ඩුව දරන උත්සාහයට සිය පූර්ණ සහයෝගය හිමිවන බවයි ආචාර්ය ජයසුමන පවසන්නේ.
ඒ අතරම ග්ලයිෆොසෙට් තහනම නිසි පරිදි ක්‍රියාවට නැගීම පිණිස ආණ්ඩුව ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.








