උමා ඔය ජනතා දුක ශ්‍රේෂ්ඨාධිකරණයට

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතා ගැටලුවලට නිශ්චිත විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවට පාරිසරික සංවිධානයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරනු ලැබ ඇත.

එම පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ පාරිසරික යුක්ති කේන්ද්‍රය විසිනි.

අදාළ ව්‍යාපෘතියෙන් දුෂ්කර තත්වයකට පත්ව සිටින ජනතාව වෙනුවෙන් පාරිසරික යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම අද(18)කැඳවූ අවස්ථාවේ රජය ප්‍රකාශ කළේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා බවයි.

සහන සැලසීමෙන් පමණක් ජනතා ගැටළු විසඳිය නොහැකි බව කියා සිටි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිවේදී රවින්ද්‍රනාත් දාබරේ ,පොළොව මතුපිට සිට භූගත උමඟ තුලට සිදු වන ජාල කාන්දුව වැළැක්වීමට රජය තවමත් පියවර ගෙන නොමැති බවයි කියා සිටියේ.

මහ පොළොවේ සිට භූගත උමඟ තුලට තත්පරයකට ලීටර 150 ක පමණ ජල කාන්දුවක් සිදු වන බව ප්‍රකාශ කළ නීතිවේදී රවින්ද්‍රනාත් දාබරේ එමගින් නිවාස බිත්තිවල ඉරි තැලීම් සහ වගා බිම් පාලු වෙන වන බවයි පෙන්වා දුන්නේ.

පෙත්සම් විභාගය මැයි මස දෙවන දා තෙක් කල් තැබීමට පියවර ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ගැටලුව නිරාකරණය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව එම දිනයේ දී අධිකරණය දැනුවත් කරන ලෙස රජයට නියම කළේය.