නව ව්‍යවස්ථාව: 'පළාත් පාලන ආයතන දක්වා බලය බෙදී යාමක්'

''පළාත් සභාවලට පමණක් බලය දිය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ. මගේ පෞද්ගලික මතය තමයි පළාත් පාලන ආයතනවලටත් බලය දිය යුතුයි''

ඡායාරූප මූලාශ්‍රය, Jayampathy Wickramaratne

ඡායාරූප ශීර්ෂ වැකිය, ''පළාත් සභාවලට පමණක් බලය දිය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ. මගේ පෞද්ගලික මතය තමයි පළාත් පාලන ආයතනවලටත් බලය දිය යුතුයි''
    • Author, ශිවන්ති ප්‍රනාන්දු
    • Role, කොළඹ සිට

නව ව්‍යවස්ථාව මගින් රටේ පළාත් පාලන ආයතන දක්වා බලය බෙදී යාමක් සිදු වන්නේ නම් එයින් රටේ සංවර්ධනයට වඩා යහපත් බලපෑමක් සිදු වනු ඇතැයි ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

පළාත් සභා යනු, හුදෙක් ජනවාර්ගික ගැටලුව හා බැඳුණු කාරණයක් වශයෙන් තමා නොදකින බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ, ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු නව ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

පළාත් පාලන ආයතන අතරේද බලය බෙදීමක් සිදු වන්නේ නම් එමගින් රටේ සංවර්ධනයට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.

"පළාත් සභාවලට අපේ දේශපාලනයෙන් ඇතුළත් වෙලා තියෙන දේ වෙනස් කරන්න බැහැ. ඒ වගේම ජාතික ගැටලුවට විසඳුමක් හොයන්න යනවා නම් දහතුනේ දුර්වලකම් හදන්න ඕනෙ.''

ඉතිහාසයේ පළමු වතාවට

''පළාත් සභා මම හැමදාම දකින්නෙ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් හැටියට පමණක් නොවේ. ලංකාවෙ නොදියුණු පළාත් හා බද්ධ වූවක් හැටියට. අද මොනරාගල ගත්තම මුලතිව් හා සමානයි. කොළඹින් සියල්ල කරලා ඒකෙ රඟ තමයි අපි දකින්නෙ," ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය.

පළාත් සභාවලට පමණක් බලය බෙදා දිය යුතුය යන්න සිය ස්ථාවරය නොවන බවත් ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය වික්‍රමරත්න සඳහන් කළේය.

"මගේ පෞද්ගලික මතය තමයි පළාත් පාලන ආයතනවලටත් බලය දිය යුතුයි. ඒකෙන් විවිධ ජන කොටස්වලටත් වාසියක් වෙනවා. විවිධ පළාත්වල ඉන්න ජන කොට්ඨාසවල ප්‍රශ්නවලට එය පහසුවක් වෙනවා. මම කියන්නෙ එතනිනුත් පහළට යා යුතුයි."

මධ්‍යම ආණ්ඩුවෙන් සැලකිය යුතු කාර්යයක් සිදු නොවීම රටේ ග්‍රාමීය පළාත් දියුණු නොවීමට එක් හේතුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් නිර්මාණය කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේමදායකත්වයෙන්.

එමෙන්ම නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම පිණිස<link type="page"><caption> විශේෂ කමිටුවක්ද</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/12/151229_tr_new_constitution_lal" platform="highweb"/></link> අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරනු ලැබ තිබේ.

නව ව්‍යවස්ථාව සැකසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඓතිහාසික වගකීමක් පැවරෙන අතර, දෙමළ ජනතා නියෝජිතයින් ඉතිහාසයේ පළමු වතාවට ව්‍යවස්ථා සැකසීමකට දායක වන බවත් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න වැඩිදුරටත් පැවසීය.