අගමැති ප්‍රයත්නය පරාජය කළා - ඒකාබද්ධ විපක්ෂය

ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එය එදිනම සම්මත කර ගැනීමේ අරමුණින් ක්‍රියා කළත් තමන් එම ප්‍රයත්නය පරාජය කර දැමූ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා (09) අදාළ යෝජනාව සභාගත කරමින් එදිනම සන්ධ්‍යාව තුළ එය සම්මත කර ගැනීමේ අදහසකින් සිටි බවයි මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයට අයත් දේශපාලන නායකයන් කියා සිටියේ.

දිනේෂ් ගුණවර්ධන(පා.ම.)

ඡායාරූප මූලාශ්‍රය, Dinesh Gunawardena

ඡායාරූප ශීර්ෂ වැකිය, දිනේෂ් ගුණවර්ධන(පා.ම.)

අගමැතිවරයා ඉදිරිපත් කරන යෝජනාව මගින් ආරම්භ කෙරෙන්නේ නිවැරදි ගමනක් නොවන බව තමන් පැහැදිලි කළ බවයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.

නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අදාළ යෝජනාව කියැවීම පමණක් පාර්ලිමේන්තුව තුළ සිදු වූ බව කියා සිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂය හැටියට ඔවුන්ගේ සංශෝධිත යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් ප්‍රකාශ කරයි.

සංශෝධිත යෝජනා

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන යෝජනා පිළිගනු ලබන්නේ නැත්නම් අගමැතිවරයාගේ යෝජනාවට සහයෝගය දීමක් සිදු නොකරන බවයි පාර්ලිමේන්තු විමල් වීරවංශ පවසන්නේ.

බන්දුල ගුණවර්ධන (පා.ම.)
ඡායාරූප ශීර්ෂ වැකිය, බන්දුල ගුණවර්ධන (පා.ම.)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනු ලබන්නේ නම් ඊට අන්තර්ගත විය යුතු අනිවාර්ය අංග පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට තම යෝජනා ජනාධිපතිවරයා ප්‍රධාන පක්ෂ නායකයන්ට ඉදිරිපත් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

ව්‍යවස්ථා මිථ්‍යාව

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුණේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට පටහැණි ආකාරයට බවයි.

අනුර කුමාර දිසානායක(පා.ම.)

ඡායාරූප මූලාශ්‍රය, JVP

ඡායාරූප ශීර්ෂ වැකිය, අනුර කුමාර දිසානායක(පා.ම.)

එසේම, රටේ සියලු ප්‍රශ්න වලට එකම හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යයි තම පක්ෂය නොසිතන බව කියා සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ව්‍යවස්ථාව වෙනස් වූ සැණින් රටේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනු ඇත යන මිථ්‍යාව තුළ සිය පක්ෂය නොමැති බවයි අවධාරණය කළේ.