ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: 'ජනතා අදහස් මාස තුනෙන්'

ඡායාරූප මූලාශ්‍රය, my3manifesto.com

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගෙන තුන් මසක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් තමන්ට දන්වා ඇතැයි ඒ වෙනුවෙන් පත් කළ කමිටුව පවසයි.

ජනතාවගේ අදහස් විමසීමට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් වේද යන්න පිළිබඳව තමාට ප්‍රශ්නයක් පවතින බවයි අගමැතිවරයා පත් කළ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක සංදේශයට කියා සිටියේ.

කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක
ඡායාරූප ශීර්ෂ වැකිය, කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක

‘අපිට දැනුම් දීල තියෙන්නේ තුන් මාසෙකින් වාර්තාවක් දෙන්න කියල. ජනතාවගේ අදහස් දැන ගන්න කාලය ඇති වෙයිද කියල ප්‍රශ්නයක් තියෙනවා. නමුත් විසි හතර දෙනෙක් දාල තියෙන්නේ ඒක වෙන්න ඕන. දැන් අපිට පුළුවන් පොඩි කමිටු වලට බෙදිලා එක එක පළාත්වලට යන්න. භූගෝලීය වශයෙන් ගත්තහම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම ගිහිල්ල අදහස් විසදන්න.’ කමිටුවේ සභාපතිවරයා පැවසීය.

සමාජ ස්ථර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලිඛිතව අදහස් දැක්වීමට ද ජනතාවට අවස්ථාවක් ලබා දෙන බවයි ඔහු පවසන්නේ.

ඒ සඳහා ඉදිරියේ දී පුවත්පත් දැන්වීමක් මාර්ගයෙන් ජනතාවට ලිපිනයක් ලබා දෙන බවත් ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඊට අමතරව සමාජයේ එක් එක් ස්ථරයන් සහ වෘත්තිකයන් වෙන වෙනම හමු වීමටද සැලසුම් කරන බව නීතිඥ ලාල් විජේනායක ප්‍රකාශ කළේය.

‘වෘත්තිකයන් හමුවෙන්න කොටසක් දාන්න පුළුවන්. ඊළඟට වෘත්තීය සමිති, ඊළඟට ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතීඥයෝ, ඒ වගේ අය හම්බ වෙන්න වෙන වෙනම කණ්ඩායම් දාගන්නත් පුළුවන්.’ ඔහු පැවසීය.

විසි හතර දෙනා

කෙසේ නමුත් කමිටුවේ විසි හතර දෙනා එක් වී තවම එකම සාකච්ඡාවක් වත් පවත්වා නැති බව නීතිඥ ලාල් විජේනායක සභාපතිවරයා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක් පක්ෂයක අදහස් මත කෙටුම් පත් වුවහොත් ‘ඊට ආයුෂ අඩු විය හැකි’ බව පවසන සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ ඊට සුජාතභාවයක් ලබා දීම සඳහා සමාජයේ සෑම කොටසකගේම අදහස් දැන ගැනීම වැදගත් වන බවයි.