ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවන්ට ආයුෂ අඩු ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, defence.lk
- Author, ලාල් විජේනායක
- Role, ජ්‍යෙෂ්ඨ නීතිඥ, බීබීසී සංදේශය වෙනුවෙන්
අප රට පාලනය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ආයු කාලය ඉතා කෙටි වීමට හේතුව කුමක්ද? දීර්ඝායුෂ සහිත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ කෙසේද?
රටක වැදගත්ම ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වේ. එහෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවගේ පිළිගැනීමට ලක්වීමට එහි නීත්‍යනුකූල භාවය (legality) පමණක් ප්‍රමාණවත් නොවේ. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වජාතිකත්වය (legitimacy) ඉතා වැදගත්ය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2/3 වැඩි ඡන්දයෙන් අවශ්‍යවන ආකාරයට ජනමත විචාරණයක් සහිතව හෝ ජනමත විචාරණයක් නොමැතිව සම්මත වීමෙන් නීත්‍යානුකූලභාවය (legality) ලබා ගත හැක. එහෙත් සුජාතභාවය (legitimacy) හිමිවන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාදාමය මතය.
ජනතාවගේ අදහස්

ඡායාරූප මූලාශ්‍රය, EPA
1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කිරීමේදී ජනතාවගේ අදහස් විමසුමක් හෝ ජනතාවගේ සහභාගිත්වයක් සිදු නොවීය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාලකයින්ගේ සම්මතය මත එහි නීත්‍යානුකූලභාවය ලබාගැනීම සඳහා සම්මත කරන ලද නීත්‍යනුකූල ලියවිලි විය. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්වීද යන්න සැක සහිතය.
1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී අප රට යටත් විජිතයක්ව පැවති නමුත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පත් කරන ලද ඩොනමෝර් කොමිෂන් සභාව මෙන්ම සෝල්බරි කොමිෂන් සභාව අප රටට පැමිණ නොයෙකුත් ප්‍රදේශ වලට ගොස් ජනතා සංවිධානවල මතය විමසන ලදී. එම මත විමසීමේදී ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගෙන එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සුජාතභාවය
1972 හා 1978 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කිරීමේදී එවැන්නක් සිදු නොවීය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ආයු කාලය කෙටි වීමට එක් හේතුවක් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සුජාතභාවය පිළිබඳව ප්‍රශ්නය විය.
එහෙයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්ම්ත කිරීමේදී ජනතාවගෙන් කරුණු විමසීම සඳහා කොමිෂන් සභාවක් පත් කිරීම වැදගත් වේ. ජනතාවගෙන් මතු වන්නා වූ අදහස් සැලකිල්ලට ගෙන ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සළකා බලා ව්‍යවස්ථාදායක බලය භාවිත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ හැක. මෙම පියවර මගහැරියහොත් පත් කරන්නා වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද ආයු කාලය කෙටි විය හැක’
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේදී එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය (basic structure) කුමක්ද යන්න නිගමනය කළ යුතුව ඇත. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද මූලික ව්‍යුහය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් යන්න පිළිබඳව මතභේදයක් නොමැත.
රාජ්‍ය ව්‍යුහය ප්‍රජාතන්ත්‍රකරණය
නමුත් එම මූලික ව්‍යුහය ට ගැලපෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනෙකුත් විධිවිධාන සකස් කිරීම නැතහොත් රාජ්‍ය ව්‍යුහය ප්‍රජාතන්ත්‍රකරණය කිරීම සඳහා අවශ්‍ය ආයතන සකස් කිරීම හා ඒවා අතර සම්බන්ධතාවය නිර්ණය කිරීම ප්‍රධාන කාර්යයක් වේ.
මේ සඳහා පිළිගනු ලබන රාජ්‍ය ව්‍යුහය (structure of state) කුමක් විය යුතුද යන්න තීරණය කළ යුතුව ඇත. රාජ්‍ය ව්‍යුහය පිළිබඳව නොයෙකුත් මත ඉදිරිපත් වනවාට සැකයක් නැත. රටේ සියලු ජන කොටස් විමසීමෙන් පසුව සියලු ජන කොටස් වලට පිළිගත හැකි ව්‍යුහයක් නිර්මාණය කළ හැක.
මෙවැනි ක්‍රියාවලියකට අවශ්‍ය වාතාවරණය අද රට තුල ඉදිරිපත් වී ඇත. අද විවෘත වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය රටේ නොයෙකුත් ජන කොටස් අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව එකඟතාවයක් ලබා ගැනීම සඳහා භාවිතා කළ යුතුව ඇත.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලාංකීය සමාජය තුල විශාල වෙනසක් සිදු වී ඇත. එම වෙනස ජනතාවගේ මනසේ ඇති වී ඇති වෙනසකි. නිදහසේ සිටීමට, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට ඇති අවකාශය තුලින් මෙම වෙනස මතු වී ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරේ ජනතාව මෙන්ම දකුණේ ජනතාවද එකම දේශපාලන අරමුණක් කරා ඉදිරිපත් වීම තුලින් මෙන්ම එම මැතිවරණයෙන් පසුවද මහ මැතිවරණයෙන් පසුවද දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවී ඇති වෙනස සළකා බැලීමේදී ජාතික සංහිඳියාවක් ඇති කිරීම සඳහා පරිසරයක් නිර්මාණය විය.
ජාතික ප්‍රශ්නයට විසඳුමක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී මෙම ඇතිවී ඇති යහපත් පරිසරය ප්‍රයෝජනයට ගනිමින් දීර්ඝ කාලයක් අප රට තුල පැවති ප්‍රශ්නයක් වන ජාතික ප්‍රශ්නයට විසඳුමක් සාකච්ඡා කිරීමට අවස්ථාව එළැඹ ඇත.
එමගින් ජාතික ප්‍රශ්නයේ දී සියලු ජන කොටස්වලට පිළිගත හැකි විසඳුමකට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය යුතුව ඇත.
ජාති, ආගම්, කුල, පංති නොසලකා පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් හිමි වන අයිතිවාසිකම් පරිච්ඡේදයක් නව ආණ්ඩුක්‍රමයට ඇතුළත් කළ යුතුවා මෙන්ම කණ්ඩායම්වල මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා වන සියළුම විධිවිධාන ඇතුළත් කිරීමට සළකා බැලිය යුතුව ඇත.
මෙම සියලු ප්‍රශ්න සංවාදයකට ලක් කළ හැක්කේ මුලින් සඳහන් කළ අන්දමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කොමිෂන් සභාවක් පත් කර ජනතාවගේ අදහස් විමසීමේ අවස්ථාවක් උදා වීමෙන් පමණකි. එහෙයින් මූලික වශයෙන් මේ ප්‍රශ්නය කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව ඇත.
(මෙහි දැක්වෙන්නේ ලේඛකයාගේ පෞද්ගලික අදහසයි)








