නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව පාර්ලිමේන්තුවට

ඡායාරූප මූලාශ්‍රය, Getty

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට රටේ ජනතාව අතර පුළුල් එකඟතාවක් ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරෙන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමට 2015 ජනවාරි අටවෙනි දින ජනාධිපතිවරයාට පැහැදිලි ජනවරමක් ලැබී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා අදාළ යෝජනාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරමිනි.

අභිනවයෙන් පත් කර ගනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතු අතර එලෙස සම්මත කර ගනු ලබන පනත් කෙටුම්පත ජනමත විචාරණයක දී මහජන අනුමැතියෙන් ද සම්මත වුනොත් පමණක් එය රටේ මූලික නීතිය ලෙස පිළිගත යුතු බවයි අගමැතිවරයා සඳහන් කළේ.

ජනාධිපති ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිණාමය
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිණාමය

අගමැති රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළ අතර ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ කිසිදු ව්‍යවස්ථාවකට ‘ජාතික සංහිදියාව’ ශක්තිමත් කිරීමට නොහැකිවූ බවයි.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ගලේ කොටන ලද දෙයක් ලෙස නොවෙනස්ව පැවතිය යුතු යැයි තමා විශ්වාස නොකරන බවයි’ ජනාධිපතිවරයා සඳහන් කළේ.

යුද්ධය ජයග්‍රහණය කිරීමට විධායක ජනාධිපති ධුරය ඉවහල් වූ බව පවසමින් තවදුරටත් එම පදවිය පවත්වා ගත යුතු බවට තර්ක කරන කණ්ඩායම් වලට ප්‍රශ්නයක් යොමු කළ ජනාධිපතිවරයා ‘ඉදිරි කාලයෙහි මේ රට තුළ තවත් යුද්ධයක් බලාපොරොත්තු වන්නේදැයි’ ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය.

තවත් යුද්ධයක් අවශ්‍යද?

උතුරේ සහ දකුණේ ජනතාව එක් කිරීමට ගන්නා උත්සාහයේ දී ඒ සම්බන්ධයෙන් ලබා ඇති දිගු කාලීන අත්දැකීම් සැලකිල්ලට ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබිඹු කෙරෙන ආකෘතියක්

ඡායාරූප මූලාශ්‍රය, Groundviews

ඡායාරූප ශීර්ෂ වැකිය, නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබිඹු කෙරෙන ආකෘතියක්

රටට ගැළපෙන ‘සුන්දර ව්‍යවස්ථා දරුවකු’ බිහි කිරීම තම රජයේ අවශ්‍යතාව වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට කිසිදු විදේශීය බලපෑමක් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ‘අසත්‍ය ප්‍රකාශ කරමින් රට තුළ නොසන්සුන්භාවයක් ඇති නොකරන ලෙස ඉල්ලීමක් ද කළේය.

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු විවාදයකට යොමු කරමින් සම්මත කර ගන්නා බවයි රජය පවසන්නේ.