මගේ කීර්තිනාමයට අපහාස - නිශ්ශංක සේනාධිපති

ඡායාරූප මූලාශ්‍රය, SriLankaMirror
අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස කළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානියා, එනමුත් ඇතැමුන් සිය කීර්තිනාමයට අපහාස කර ඇති බව බීබීසී සංදේශයට පැවසීය.
විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ඒ බව කියා සිටියේ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ.
නිශ්ශංක සේනාධිපති සිය කීර්තිනාමයට හානි කළ බව පවසමින් රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ චම්පික රණවක අමාත්‍යවරුන් මීට ඉහතදී පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.
ජනපති 'හමුවූයේ නෑ'
ඒ පිළිබඳව පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව බීබීසී සංදේශයට තහවුරු කළ පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, මින් ඉදිරියට ගතයුතු පියවර විමර්ශකයන් විසින් තීන්දු කරනු ඇති බවත් සඳහන් කළේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සාපරාධී අපහාස නීතිය අවලංගු කර ඇති බැවින් කීර්තිනාමයට හානිකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට ගත හැකි පියවරක් නැති බවයි, නිශ්ශංක සේනාධිපති පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Sudath Silva President Media Unit
ඇතැම් අමාත්‍යවරුන් තමාගේ සහ සිය සමාගමේ කීර්තිනාමයට කළ හානිය සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු පැවසීය. "මට අවශ්‍ය කටයුතු මම ඉදිරියේදී කරගෙන යනවා."
අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ඔහු, දිගින් දිගටම අවධාරණය කළේ සිය සමාගමේ කටයුතු නාවික හමුදාව වෙත පවරාගැනීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්‍රාමික හමුදා නිලධාරීන් හය දහසකගේ ජීවිකාව අහිමි කර ඇති බවයි.
'ගිවිසුම දීර්ඝ කළා'
තමන් කිසි දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු නොවූ බව පවසන ඔහු, විශ්‍රාමික හමුදා සෙබළුන්ට රැකියා අහිමිවීම පිළිබඳව දැන සිටියේ ජනාධිපතිවරයා එවැනි පියවරක් ගනු නැති බව තමන්ට සහතික බවද සංදේශයට පැවසීය.
"මම දන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැනගෙන හිටියනම් මේකන් රණවිරුවන්ගේ රස්සා නැතිවෙනවා කියල එතුමා ඒ දේ කරන්නෙත් නෑ, එතුමා අණක් දීලත් නෑ," නිශ්ශංක සේනාධිපති සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"එතුමාට කෑගහල, එතුමා අසරණ කරලා, එතුමා බිත්තියට හේත්තු කරලා තමයි ඕක කරලා තියෙන්නේ."
සිය ව්‍යාපාරය නීතිවිරෝධී නම් වත්මන් ආණ්ඩුව යටතේ රක්නා ලංකා සමාගම විසින් පසුගිය ඔක්තෝබර් 15 වැනි දින තමන් සමඟ පැවති සියලුම ගිවිසුම් තවත් වසර පහකට දීර්ඝ කළේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.
මීට ඉහතදී සත්හඬ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ අඩංගු කරුණු සනාථ කිරීමට තමන් සතුව සාක්ෂි තිබෙන බවයි නිශ්ශංක සේනාධිපති වැඩිදුරටත් කියා සිටියේ.








