ඇවන්ට්ගාඩ් සමාගම තහනම් කිරීමට 'ජනපති නියෝග'

'ජනාධිපතිතුමා තීන්දු කළා සමාගම තහනම් කරලා ඒ සියලුම කටයුතු නාවික හමුදාවට පවරා දෙන්න' (ඡායාරූපය: සනත් පතිරණ)
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ජනාධිපතිතුමා තීන්දු කළා සමාගම තහනම් කරලා ඒ සියලුම කටයුතු නාවික හමුදාවට පවරා දෙන්න' (ඡායාරූපය: සනත් පතිරණ)

ඇවන්ට්ගාඩ් සමාගම තහනම් කර, එම සමාගමට පවරා දී තිබුණ සියලු ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට පවරා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සංදේශයට පැවසීය.

ඇවන්ට්ගාඩ් සමාගම නීතිවිරෝධී මංකොල්ලයක යෙදී ඇති බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන විශේෂ රැස්වීමේදී අනාවරණය වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

"නාවික හමුදාපතිතුමා භාරගත්ත ඒක එතුමාට කරන්න පුළුවන් වේවි කියල," අමාත්‍යවරයා පැවසීය.

'සියලු කරුණු හෙළිදරවු වුනා. මේක මහා නීති විරෝධී, මහ මංකොල්ලයක් බව හෙළිදරවු වුනා'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'සියලු කරුණු හෙළිදරවු වුනා. මේක මහා නීති විරෝධී, මහ මංකොල්ලයක් බව හෙළිදරවු වුනා'

එමෙන්ම ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගම මෙතෙක් පවත්වාගෙන ගිය ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් නීත්පතිවරයා සමග එක්ව වහාම පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ජනාධිපතිවරයා පොලිස්පති එන්කේ ඉලංගකෝන් ට නියෝග කළ බවත් අමාත්‍ය සේනාරත්න සඳහන් කළේය.

ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, සමාගම පිළිබඳවද පරීක්ෂා කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටුවේ සභාපතිවරයා, නාවික හමුදාපතිවරයා, රක්නා ලංකා සමාගමේ සභාපතිවරයා, විධායක අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරීවරයා, පොලිස්පතිවරයා, රහස් පොලිස් නිලධාරීන්, මූල්‍ය වංචා විමර්ශන අංශයේ නිලධාරීන්, නීතිපතිවරයාගේ නියෝජිතයා මෙන්ම චම්පික රණවක, අර්ජුන රණතුංග, සහ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරුන් සමඟ තමන්ද එම රැස්වීමට සහභාගි වූ බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම විශේෂ රැස්වීමට සහභාගී වී සිටියත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කිසිදු අදහස් පළ කිරීමක් නොකළ බවයි කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ.

"සියලු කරුණු හෙළිදරවු වුනා. මේක මහා නීති විරෝධී, මහ මංකොල්ලයක් බව හෙළිදරවු වුනා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.