පාවෙන අවි ගබඩාව ගැන කරුණු පහක්

- Author, තිසර අරවින්ද රතුවිතාන
- Role, බීබීසී
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුව අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
ඔහුට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ද ඉවත් කර ඇති බවයි වාර්තා වූයේ.
මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.
මාස කිහිපයක් තිස්සේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම පාවෙන අවි ගබඩාව සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයා ගත් අවි ගබඩාව පිළිබඳව කරුණු කිහිපයක් විමසා බලමු.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සිදුවූයේ කුමක්ද?
ගාලු මුහුදේ නවතා තිබූ නෞකාවක තිබී අවි ගබඩාවක් සොයා ගැනුණි.
රක්නා ලංකා ආරක්ෂක සමාගමට අයත් යැයි සඳහන් වූ අවි ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබීය දී සොයා ගන්නා ලදී.
ජනාධිපතිවරණයෙන් අනතුරුවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිගටම බලයේ රැදී සිටීමට හමුදාව යොදා ගෙන කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වන චෝදනාව සහ ගාල්ලේ දී එම ආයුධ තොගය සහ අතර සම්බන්ධයක් පවතින්නේ දැයි විමර්ශන පවත්වන බව එවකට පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සංදේශයට පැවසීය.
සමාගමේ අයිතිය කාටද?

අවි ගබඩාව පවත්වාගෙන ගිය නෞකාව අයත් වන්නේ, මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීම පිණිස නෞකාවලට ආයුධ සපයන අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමට යි.
ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව 2011 දී ලියාපදිංචි කරන ලද සිය සමාගමේ සේවය කරන 8000 කට ආසන්න සේවකයන් අතරින් අති බහුතරය විශ්‍රාමික හමුදා සෙබළුන් සහ ඉහල නිලධාරීන් බව අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති බීබීසීයට පවසා තිබුණි.
ආරක්ෂක අමාත්‍යංශයේ පාලනය යටතේ පවතින රක්නා ලංකා සමාගමෙන් අවි ආයුධ සහ සේවාවන් ලබා ගෙන සිය සමාගමේ කටයුතු පවත්වා ගෙන ගිය බව පවසන ඔහු, හිටපු නාවික හමුදාපතිවරුන් වන දයා සඳගිරි, සෝමසිරි දිසානායක සහ ජයනාත් කොළඹගේ යන අද්මිරාල්වරුන් මෙන්ම හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක ද සිය සමාගමේ සේවයේ නිරතව සිටින බව ද සඳහන් කළේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයා ගත් ආයුධ අයිති රක්නා ලංකා ආරක්ෂක සමාගමටයි.
මෙම ආරක්ෂක සමාගම පාලනය වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන අතර එවකට ආරක්ෂක ලේකම්වරයා වූයේ ගෝඨාභය රාජපක්ෂ යි.
චෝදනා මොනවාද?
රක්නා ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වූ රජයට අයත් සමාගමක් වූ නමුත්, ඇවන්ගාඩ් වැනි පුද්ගලික ආරක්ෂක සමාගමකට එසේ අවි ගබඩා පවත්වා ගෙන යාමේ නීතිමය බලයක් තිබෙන්නේද යන්න සහ එවැනි සමාගමකට අවි ආයුධ පවරා දිය හැකිද යන්න පිළිබඳව මෙම විමර්ෂණය පැවැත්වෙන බවයි පොලිසිය කියා සිටියේ.
මේ පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් සහ ඇවන්ගාඩ් පුද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපතිගෙන් ප්‍රශ්න කරන ලදී.
ජනාධිපතිවරණ සමයෙහි ‘රක්නා ලංකා’ සේවකයන් පන්සීයක් පමණ දේශපාලන කටයුතුවල නිරත කර වීම ගැන පෙත්සමක් ලැබී ඇති බව මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පිහිටුවන ලද ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරයා පැවසීය.
ගත් පියවර මොනවාද?
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇවන්ගාඩ් පුද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසකට රටින් පිටවීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් පනවන ලදී.
හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව ‘රක්නා ආරක්ෂක ලංකා’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් කේ.බී.එගොඩවෙල සහ ‘ඇවන්ට් ගාර්ඩ්’ ආරක්ෂක සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මංජුල යාපාටත් ඉහත කී විදේශ සංචාර තහංචිය බල පැවැත්වුණි.

ඡායාරූප මූලාශ්‍රය, ISNA
රක්නා ලංකා සමාගම හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතුවලින් ඉවත් කිරීමට වරාය අධිකාරිය ක්‍රියා කර තිබේ.
එවකට තිබුණු ප්‍රතිචාර මොනවාද?
ජනවාරි අට වැනිදා අරලිය ගහ මන්දිරයේ සිදු වූ බවට චෝදනා එල්ල වුනු කුමන්ත්‍රණය සඳහා මෙම අවි ගබඩා කර තබන්නට ඇති බව ඇතැමුන් ප්‍රකාශ කළහ.
නිසි බලපත් සහ අවසරයක් නොමැතිව අවි ආයුධ රටට ආනයනය කර ඇති බවට චෝදනා කරමින් මාධ්‍ය වාර්තා පළ විය.
මෙම අවි ආනයනය කිරීමේ දී සිදු වූ මුදල් ගනුදෙනුවලදී විදේශ විනිමය දූෂණ සහ වංචාවන් සිදු වී ඇති බවටද චෝදනා පළ වී තිබුණි.
අවි ගබඩා කර තැබීමේ දී අනුගමනය කළ යුතු නීති රීති උල්ලංඝනය කර ඇති බවත් ප්‍රකාශ විය.
රජය සතු අවි තුන් වැනි පාර්ශවයක් අතට පත් කිරීම මගින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අන්තර්ජාතික නීතිය ද උල්ලංඝනය කර තිබෙන බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ.








