අගමැති අපේක්ෂකයෙක් නෑ, 'මහින්ද, මෛත්‍රී එක කණ්ඩායමක'

ඡායාරූප මූලාශ්‍රය, S.B. Dissanayake
අගමැති අපේක්ෂකයකු නම් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය නොවන බව අමාත්‍ය එස්බී දිසානායක පවසයි.
"ඒ නිසා ඒක එච්චර අපිට වැදගත් නෑ," අමාත්‍යවරයා කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම අගමැති අපේක්ෂකයා ලෙසින් තරඟ කරන බවට <link type="page"><caption> කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/06/150628_smbp_mahinda_pm_candidate" platform="highweb"/></link> බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.
"තරඟ කරනවද, නැද්ද යන කාරණය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරලා නෑ. තරඟ කිරීමත් ලොකු ගැටලුවක් හැටියට අපිට තේරෙන්නේ නෑ," අමාත්‍යවරයා කියා සිටියේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
මත්ද්‍රව්‍ය චෝදනා
කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොකොට මැතිවරණයට මුහුණ දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේද අවශ්‍යතාවය බවත් අමාත්‍ය එස්බී දිසානායක පැවසීය.
එබැවින් ඔවුන් අතර පවතින 'විරසක තත්වය' සමනය කොට එක් කණ්ඩායමක් ලෙසින් තරඟ කිරීම පිණිස කටයුතු සම්පාදනය කරමින් තිබෙන බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ක්‍රියාදාමය සකස් කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එස්බී දිසානායක, මහින්ද අමරවීර අමාත්‍යවරුන් ඇතුළු පිරිසකගෙන් සමන්විත කමිටුවකට පවරනු ලැබ තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මෙතෙක් සන්ධානගතව සිටි සහ නොසිටි දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා සඳුදා උදෑසන සිට ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.
"අපි ඒ සාකච්ඡා පවත්වන්නේ ජනාධිපතිතුමාගේ නිල නිවසේ. අපි ඒක දවස් තුනකින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා."
දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ට නාමයෝජනා නොලැබෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.
"පැහැදිලිව ඔව්. සමහර අයට නොමිනේෂන් ලැබෙන එකක් නෑ. මම හිතන්නේ ඒක පක්ෂයත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක මෛත්‍රී අතින් ඉෂ්ඨ වෙයි."








