'රෙදි ගලවනවා' යනු නිරුවත් කිරීම නොවේ - එස්බී
පසුගිය ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ 'රෙදි ගලවනවා' යනුවෙන් පැවසූ අවස්ථාවේ තමා අදහස් කළේ ඇය නිරුවත් කරන බවක් නොවේ යයි අමාත්‍ය එස්බී දිසානායක පවසයි.
"අපි මේ ඈත ගම්වල ඉපදිච්ච හොඳ බොහොම හොඳ ගැමියෝ. අපි සිංහල භාෂාවෙන් උඹේ රෙද්ද ගලවනවා කියන්නේ රෙද්ද ගලවනවා කියන එක නෙවෙයි," යනුවෙන් ඇමතිවරයා සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
"ඒක මේ සිංහල භාෂාවේ තියන සරල වචනයක් උඹ හෙළිදරවු කරනවා කියන එක. ඒක අපි අපේ ප්‍රතිවාදී පිලේ සියලු දෙනාටම කියන දෙයක්නේ?" ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක වැඩිදුරටත් පැවසීය.
'කාන්තාවන්ට අවමානයක්'
අමාත්‍යවරයා මැතිවරණ ව්‍යාපාරයේදී කරන ලද එම ප්‍රකාශය ලාංකීය කාන්තාවන් සියලු දෙනා අවමානයට ලක් කිරීමක් බව පවසමින් රෝසි සේනානායක සහ තලතා අතුකෝරල ඇමතිවරියන් මෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දැක්වූ බොහෝ දෙනා විසින්ද හෙලා දකිනු ලැබ තිබුණි.

සිය ප්‍රකාශයේ අරුත පැහැදිලි කර දුන් බැවින් තවදුරටත් ඒ පිළිබඳව ප්‍රශ්න නොනගන මෙන් ග්‍රාමීය සංවර්ධන කටයුතු පිලිබඳ නව අමාත්‍යවරයා බීබීසී සංදේශයෙන් ඉල්ලීමක් කළේය.
මේ පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමියගේ ප්‍රතිචාරය ලබාගැනීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
2010 න් අනතුරුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගමන් කළේ සදාම් හුසේන් සහ මුවම්මර් ගඩාෆි වැනි නායකයන් ගමන් කළ මාර්ගයේම බවද ඇමතිවරයා පැවසීය.
'ගඩාෆි ගිය පාරේ'
යුද ජයග්‍රහණයෙන් අනතුරුව දෙමළ දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපොහොසත් වූ බව පවසන ඔහු, එමෙන්ම ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව අමනාප කරගැනීම ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ලවීමට ප්‍රධානම හේතුව බවත් සඳහන් කළේය.
"2010 න් පස්සේ අපි හැසිරිච්ච විදියටම තමයි, ගඩාෆි සහ සදාම් හුසේන් හැසිරුනේ," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AP
"සදාම් හුසේන්ට කළේ ඉතාම නීච වැඩක් ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය. ගඩාෆි ට කළේ නීච වැඩක්. හැබැයි ඒ පාරේ නේද මේ ගියේ?"
එළඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙසින් තරඟ වැදීමේ උත්සාහය තමන් අනුමත නොකරන බවද අමාත්‍යවරයා බීබීසී සංදේශයට පැවසීය.
"මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වැටුණු ඡන්දවල ලක්ෂ 10 ක්, 12 ක් තියෙනවා එක්කෝ අපේ තිබුණු ඇතැම් ජාතිවාදී, අන්ත ආගම්වාදී ස්වරූපයේ සහ පවුල්වාදය සහ දූෂණ චෝදනා නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාට නොදුන්න එහෙත් යූඑන්පී යට නොදෙන."
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ පරීක්ෂණ වාර්තාව කල් දමා ගැනීමට හැකිවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.