අප්‍රේල් මස පාර්ලිමේන්තුව 'විසුරුවන්නේ නෑ'
ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව අදාළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම පිණිස තවත් කාලය අවශ්‍ය බැවින් ලබන ජුනි මාසයේ මහ මැතිවරණය බොහෝ දුරට නොපැවැත්වීමට ඉඩ තිබෙන බව කම්කරු කටයුතු පිළිබඳ නව රාජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග පවසයි.
"බොහෝ දුරට මේ අප්‍රේල් 23 වැනිදා විසුරුවා හැරීම සිද්ද වෙන්නේ නැහැ. අපිට ඊට ඉස්සෙල්ල කරන්න ලොකු කාර්යභාරයක් තියෙනව," බවයි නව අමාත්‍ය පදවියේ දිවුරුම් දීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩපිළිවෙලට ඇතුලත් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීමෙන් අනතුරුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
දෙමළ සන්ධානය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 26 දෙනෙක් නව කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසින් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

කෙසේ නමුත් නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා දිගටම විපක්ෂනායක ධුරයේ කටයුතු කරනු ඇති බවත් අමාත්‍ය ජීවන් කුමාරතුංග සඳහන් කළේය.
එහෙත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ ප්‍රධානම පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවකට එක් වී සිටින අවස්ථාවක, විපක්ෂයේ ප්‍රධානම පක්ෂය බවට පත්වන දෙමළ ජාතික සන්ධානයට විපක්ෂනායක ධුරය අහිමි වීම අසාධාරණයක් ලෙසින් පෙනී යන්නට ඉඩ තිබෙන්නේ නොවේද යන්න බීබීසී යේ සරෝජ් පතිරණ ඇමතිවරයාට යොමු කළ ප්‍රශ්නයක්.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුළුතරයේ ආණ්ඩුවකට අවස්තාව ලබා දී 'විශාල කැපකිරීමක්' කොට තිබෙන බැවින් එය අසාධාරණයක් ලෙසින් තමන් නොදකින බවයි, අමාත්‍ය ජීවන් කුමාරතුංග එයට ප්‍රතිචාර වශයෙන් කියා සිටියේ.