යුද අපරාධ පරීක්ෂණවලට 'සහාය දීලා' - පොලිසිය

එක්සත් ජාතීන්ගේ යුද අපරාධ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා යොදා ගැනෙන ආකෘති පත් කිලිනොච්චියේ වැසියන් අතර බෙදා දුන්නේ යැයි චෝදනා කරමින් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ.
කිලිනොච්චියේ පුනරීන් පළාතේ ඉරණේයිමාදුවාන් ගමෙහි පදිංචි සින්නතම්බි ක්‍රිෂ්ණරාජා නැමති පනස්හත් හැවිරිදි පුද්ගලයෙකුයි මෙසේ අත් අඩංගුවට පත්ව තිබෙන්නේ.
මේ වන විට ඔහු ත්‍රස්ත මර්දන ඒකකයේ වවුනියාව කාර්යාලයේ රඳවා තබා ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේය.
එල්ටීටීඊ
එල්ටීටීඊ සාමාජිකයෙකු බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලියකියවිලි තොගයත් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
එල්ටීටීඊ සාමාජිකයකුව සිට පුනරුත්ථාපනය නොවීම, හැඳුනුම්පත් දෙකක් ඇතුළු රහස් ව්‍යාජ ලියකියවිලි ළඟ තබා ගැනීම යන චෝදනා මත පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තම පියා අත් අඩංගුවට ගැනීමට තරම් සාක්කි හෝ ඊට අදාළ ක්‍රියාකාරකම් ඇතැයි තමාට විශ්වාසයක් නොමැති බව අඩංගුවට පත් ක්‍රිෂ්ණරාජාගේ පුතෙකු වන කේ සුදාකරන් සංදේශයට කියා සිටියේය.
මෙය නීති විරෝධී අත් අඩංගුවට ගැනීමක් බව පවසන සුදාකරන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් සඳහන් කළේය.




