ගිනි තබා ගත්තේ 'නවී පිල්ලේට එරෙහිව'

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු මහ කොමසාරිස් නවී පිල්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියට එරෙහිව කොළඹදී සිරුරට ගිනි තබා ගත් පුද්ගලයකුගේ තත්වය බරපතල බව පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපසදී සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා මුලින්ම ගිනි තබා ගැනීමට උත්සාහ කොට තිබෙන්නේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපසදී බවද පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සංදේශයට පැවසීය.

ඔහු ශ්‍රී ලංකාවේ හිටපු මාණ්ඩලික සැරයන්වරයකු බවද නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේය.

පොලිසිය ඉදිරිපසදී ඔහු සිරුරට ගිනි තබා ගැනීම වැළැක්වීමට පොලිසිය අපොහොසත් වූයේ මන්දැයි විමසූ අවස්ථාවේ පොලිස් ප්‍රකාශකවරයා කියා සිටියේ, පොලිසිය වහාම මැදිහත් වී ක්‍රියා කිරීම හේතුවෙන් එම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බවයි.

ඔහු ඉතා නිරෝගී තත්වයෙන් පසු වූ පුද්ගලයකු යයි දරුවන් සඳහන් කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

තමන් පන්නිපිටියේ පදිංචිකරුවකු බව කොළඹ ජාතික රෝහලේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු කියා සිටියේය.