දෙමළ තරුණයෙකු ඔස්ට්‍රේලියාවේදී ගිනි තබාගෙන

2003 දී ඉරාන ජාතිකයෙකු ප්‍රංශයේදී සිරුරට ගිනි තබා ගත්තේ ඉරානයෙන් ප්‍රංශයට පලා ආ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින්.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2003 දී ඉරාන ජාතිකයෙකු ප්‍රංශයේදී සිරුරට ගිනි තබා ගත්තේ ඉරානයෙන් ප්‍රංශයට පලා ආ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින්.

ඔස්ට්‍රේලියාවේ දී දේශපාලන රැකවරණ ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික දෙමළ ජාතික තරුණයෙකු සිය සිරුරට ගිනි තබා ගෙන තිබේ.

වයස අවුරුදු විසි ගණනක් විය හැකි බවට විශ්වාස කෙරෙන මෙම තරුණයා බදාදා රාත්‍රියේ සිඩ්නි නුවර තම රැකියා ස්ථානයෙන් පිටත දී සිරුරට පෙට්‍රෝල් වත් කර ගෙන ගිනි තබා ගැනීමෙන් පසු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දේහ චර්මයෙන් සියයට අනූ අටක් පමණ පිලිස්සී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශපාලන රැකවරණ පතා ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප වූ බවත් නැවත ශ්‍රී ලංකාවට යා යුතු බවත් දන්වා ඔස්ට්‍රේලියානු බලධාරීන් මෙම තරුණයාට ලිපියකින් දැනුම් දී තිබේ.

මඩකලපුව ප්‍රදේශයේ ජීවත් වූ මෙම තරුණයා වසර එකහමාරකට පෙර ඔස්ට්‍රේලියාවට පලා ගොස් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.