ජිනීවා කොමිසම බලගතු කෙරෙන යෝජනා

ආචාර්ය දයාන් ජයතිලක

ඡායාරූප මූලාශ්‍රය, unspecial.org

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය දයාන් ජයතිලක

ජිනීවා හිදී පැවැත්වෙන මානව හිමිකම් කොමිසම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන යෝජනාවට සංශෝධන එක් වෙමින් ඇත.

ඇමරිකාවේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වෙන මේ යෝජනාවට සංශෝධන වැඩි වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ යුරෝපා රටවල් විසිනි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ලවා දිගින් දිගටම විමර්ශනය කිරීමට ඉඩ ලබා දීමට ගන්නා උත්සාහය පිළිගත නොහැකි එකක් යැයි කොළඹ සිට අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේය.

ස්වාධීන පරීක්‍ෂණයක්

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා නිශ්චිත සිදුවීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර කීර්තියක් සහිත විනිශ්චයකාරවරයෙක් වන සී ජේ වීරමන්ත්‍රී ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට තමන් ශ්‍රී ලංකාවට යෝජනා කළ අතර,එම නිර්දේශය ක්‍රියාත්මක කළා නම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන යෝජනාව පරාජය කිරීමට ඉඩ තිබුණ බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, එවැනි නිර්දේශ ක්‍රියාත්මක නොකළ පමණින් ශ්‍රී ලංකාව පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පූර්ණ බලතල පැවරීම වැරදි බවයි, ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ.

සුනන්ද දේශප්‍රිය
ඡායාරූප ශීර්ෂ වැකිය, සුනන්ද දේශප්‍රිය

ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ සිට කථා කළ ‘යුක්තිය’ පුවත්පතේ හිටපු කර්තෘ සුනන්ද දේශප්‍රිය කියා සිටියේ, අළුත් සංශෝධන අනුවත් ශ්‍රී ලංකාවට තමන්ගේ ම ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමට ඉඩ තිබෙන බවයි.

කෙසේ වෙතත් පසුගිය අවුරුදු පහක කාලයක් තුල දී ශ්‍රී ලංකාව ට තමන්ගේ ම ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමේ හැකියාවක් නැති බව සනාථ වී ඇති බවයි සුනන්ද දේශප්‍රිය කියා සිටියේ.