ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වී ඇරඹුණ නව සමාගම් මොනවා ද? CEB පාරිභෝගික ඔබ දැනගත යුතු දේවල් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
දශක හයකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කරමින් එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කර පිහිටවූ නව සමාගම් මාර්තු 9 වන දා සිට බලාත්මක විය.
ඒ අනුව, පෙර පැවති ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වන අතර විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන සමාගම් මෙතැන් සිට ක්‍රියාත්මක වීම සිදුවේ.

'ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයි'
සමාගම් පිහිටුවීමත් සමග ම විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ බව මේ පිළිබඳව අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසීය.
"රටේ විදුලි බල ක්ෂේත්‍රයට වත්මන් හා අනාගත අභියෝග ජය ගන්න අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින්, නමුත් සීයට සීයක් ම රජයේ අයිතිය තහවුරු කරමින් කටයුතු කළ බව අපි බොහොම නිහතමානීව කියන්න කැමතියි," ඔහු සඳහන් කළේ ය.
රජයට සම්පූර්ණ අයිතිය ඇති සමාගම් 6කට ලංකා විදුලි බල මණ්ඩලය වෙන් කර ප්‍රතිව්‍යුහගතකරණය කළ බව විදුලි බල මණ්ඩල පරිවර්තන කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් හැඩිගල්ල පැවසීය.
"ලංකා විදුලි බල මණ්ඩලය සතු ජනන බලාගාර, සම්ප්‍රේෂණ පද්ධතිය, බෙදා හැරීම් කලාප, ඒ වගේ ම පද්ධති පාලනය කියන ප්‍රධාන කාර්යන් හතර, වෙන වෙන ම සමාගම් 4කට වෙන් වෙනවා. ඒ වගේ ම ඒ සමාගම් 4ට බෙදා වෙන්වෙන ලංකා විදුලි බල මණ්ඩලය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල, අර්ථ සාධක අරමුදල පරිපාලනය සඳහා තවත් සමාගමක් එනවා, ඒ සමාගමත් සීයට සීයක් ම රජයට අයිති සමාගමක්," ඔහු පැහැදිලි කළේ ය.
එමෙන් ම සුළු කාර්යයන් සඳහා තවත් එක් සමාගමක් පිහිටවූ බව ද ඔහු තවදුරටත් පැවසීය.
විදුලිය බෙදා හැරීම සිදුවන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, EDL
මෙම ප්‍රතිසංස්කරණ අනුව, ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදා හැරීමේ කාර්යයන්වල වගකීම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (EDL) වෙත පැවරෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Screen-grab / EDL
'පරණ සේවා ඒ විධිය ම යි'
ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විදුලි බල මණ්ඩලය සමාගම්වලට වෙන් කළ ද මහ ජනතාවට පෙර පරිදි ම ඒ ආකාරයෙන් ම සේවා ලබා ගත හැකි බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල බීබීසී සිංහල වෙත පැවසීය.
"පරණ ඒවා ඒ විධිය ම යි, කිසි ම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මහජනතාවට පරණ විදිහට ම ඒ දේවල් කරගන්න පුළුවන්. සංවිධාන ව්‍යුහයේ උඩ වෙනස් කළාට යට මොනවත් වෙනස් කරලා නැහැ."
බිඳ වැටීම් දැනුම් දීමේ ක්ෂණික දුරකතන අංක ඇතුළු පෙර පැවති කිසිදු සේවාවක වෙනසක් කර නොමැති බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
පාරිභෝගිකයින්ට වාසි දායක ද?
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය හරහා පාරිභෝගියන්ට ලැබෙන වාසි පිළිබඳව විදුලි බල මණ්ඩල පරිවර්තන කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් හැඩිගල්ල පැහැදිලි කළේ ය.
"ප්‍රතිව්‍යුහගතකරණයේදී සිදුවන ප්‍රධාන ම කාර්යයක් 3ක් තමයි කාර්යක්ෂමතාව වැඩි වෙනවා, විනිවිදභාවය වැඩි වෙනවා, ඒ වගේ ම තරගකාරීත්වය වැඩි වෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඒ හරහා දරාගත හැකි මිලකට පාරිභෝගිකයන් හට විදුලිය සැපයීමට හැකි වන බව ය.
'මෙහෙයුම් කටයුතුවලට බලපෑම්' - විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය
මෙවැනි පසුබිමක ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පැවසුවේ, "දැනට ක්‍රියාත්මක වන ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ හිතමතා හෝ අතිශය නොසැලකිලිමත්භාවය හේතුවෙන් ඇති වී ඇති අවිනිශ්චිතතාව මත බොහෝ සේවකයින්" රාජකාරිවලින් වැළකී සිටින බව ය.
"ප්‍රධාන වශයෙන් තවමත් විදුලි බල මණ්ඩලයේ සිටි සේවකයින් අතිශය බහුතරයකට, නව ආයතනවල පත්වීම් ලිපි හා ඊට අදාළ වෙනත් ලේඛන ලැබී නොමැති වීම හා ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන ලිපිවල පවා විවිධ අඩුපාඩු හා ගැටලු ඉහත ක්‍රියාමාර්ග සඳහා හේතු වී ඇත," යනුවෙන් එම සංගමය සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක දැක්වේ.
එසේ වුව ද ජනතාවට විදුලිය සැපයීම වෙනුවෙන් "විදුලි බලාගාර හා පෙර ලංවිම සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් අංශවල අත්‍යවශ්‍ය මෙහෙයුම් හා නඩත්තු කටයුතුවල අවදානමක් යටතේ වුව ද තවමත් සේවකයින් සේවයේ නිරත වන බව" ඔවුහු පෙන්වා දෙති.
නමුත්, "ඇතැම් මෙහෙයුම් කටයුතුවලට බලපෑම් ඇති විය හැකි අතර සමහර බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව එම සංගමය වැඩිදුරටත් සිය සටහනේ සඳහන් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Screen-grab / CEBEU
විරෝධතා මැද සම්මත වුණු පනත
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වෘත්තීය සමිතිවල දැඩි විරෝධයට ලක් වූ මෙරට විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම ඇතුළු විදුලි බල කර්මාන්තයට සිදු කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සැලසීම මෙන් ම එම ක්ෂේත්‍රයේ තවත් කටයුතු වෙනුවෙන් හඳුන්වා දී තිබුණු 2024 අංක 35 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත සංශෝධනය සඳහා ගෙන ආ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනතට කතානායකවරයා අත්සන් තැබුවේ ඉකුත් වසරේ අගෝස්තු 18 වන දින ය.
"මේ විදුලි බල මණ්ඩලයට ඇවිල්ලා ඉන්නේ මර්දනයේ කස කාරයා. ඊළඟ අවුරුදු තුන හතරේ හිතා ගන්න පුළුවන්, මේගොල්ලෝ පටන් ගනිද්දි මෙහෙම නම්, මේ පෙරහැර ඉවර වෙන්නේ කොහොම ද කියලා, හිතාගන්නකෝ මේ රටේ වැඩ කරන පන්තිය," ඊට එරෙහිව ඉකුත් වසරේ පැවති විරෝධතාවකදී කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්වරයා පැවසීය.
පැවති විරෝධතා දැඩි වීමත් සමග ඊට පිළිතුරු ලෙස රජය විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවා අතවශ්‍ය සේවා බවට නම් කරමින් එම වසරේදී ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.
"අපි පහුගිය පාලකයින් මේක විනාශ කරන්න හදනකොට ඒකට විරුද්ධව සටන් කළා. හැබැයි අද ඒ විනාශය වෙනුවට අපි මේක ආරක්ෂා කරමින් ඉදිරියට යන්න හදනකොට ඒකට එරෙහිව වෙනත් කවුරුහරි ක්‍රියාත්මක වෙනවා නම් වෙනත් දේශපාලන උවමනාවන් මත ඒක සම්බන්ධව අපිට තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා," කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ එවකට මෙම විරෝධතා ගැන අදහස් දක්වමින් බීබීසී සිංහල වෙත පැවසීය.
ශ්‍රී ලංකාවේ විදුලි බලයේ ඉතිහාසය
ලංකා විදුලි බල මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ කොළඹ වරායට 1882 වර්ෂයේදී යාත්‍රා කළා වූ එස්එස් හේලියෝස් (SS Helios) නම් නෞකාවේ ප්‍රථම වරට විදුලි බලය දැක ගැනීම ශ්‍රී ලංකාවේ පළමු විදුලි බල අත්දැකීම ය.
1890 වර්ශයේ ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම විදුලි බල්බය දැල්වූ බව එහි සඳහන් ය. ඒ කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරය තුළ ය.
මේ හැරුණු විට පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන යන ලද ඔවුන්ගේ වැවිලි වතුයායන්වල ද විදුලි බලය භාවිත වූ බවට සාක්ෂි ඇතැයි වෙබ් අඩවියේ සඳහන් ය.
ශ්‍රී ලංකාවේ ජල විදුලි බලයේ පියා ලෙස සැලකෙන ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර විසින් 1918 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ජල විදුලිය උත්පාදනයට ඇති විභවතාව හඳුනාගෙන ගනු ලැබ ඇත.
1928 වර්ෂයේදී එවකට පැවති පාලනය යටතේ තාප බල විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීමට තීරණය කරන ලද අතර එය එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලිගේ නමින් නම් කර තිබේ.
ඉන් පසුව 1950 වර්ෂයේදී ලක්ෂපාන විදුලි බලාගාරය ක්‍රියාත්මක කරන ලද අතර ඉන් අනතුරුව විදුලි බල ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක් වේ.
1969 නොවැම්බර් මස 1 වන දා ලංකා විදුලි බල මණ්ඩලය 1969 අංක 17 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද අතර, වරින් වර විදුලි බලය සම්බන්ධ විවිධ පනත් සහ සංශෝධිත පනත් ද පැමිණියේ ය.
එමෙන් ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් මෙරට විදුලි බල කර්මාන්තය සහ විවිධ උපයෝගිතාවන් නියාමනය සඳහා පිහිටුවනු ලදුව තිබේ.






























