ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීම හා වෘත්තීය ක්‍රියාමාර්ග:දිවයින පුරා විදුලිය බිඳ වැටීම්; ජනතාව සහ නව සභාපතිවරු කියන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 7
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීම සම්පුර්ණ කරමින් සමාගම් කිහිපයකට පැවරූ දිනයේ සිට විදුලිය ඉල්ලා පාරට බැසීමට විදුලි පාරිභෝගිකයින්ට සිදුවිය.
එමෙන්ම විදුලි බල මණ්ඩලයේ සේවකයන් පිරිසක් ද නව සමාගම්වලට අනුයුක්ති කිරීම නිසි ලෙස සිදුනොවු බව පවසමින් සහ සේවක ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටිති.
මීගමුව, කොච්චිකඩේ ජනතාව මාර්තු 10 වෙනිදා රාත්‍රීයේ විරෝධතාවයක නිරත වුයේ ප්‍රදේශයේ මාර්තු 09 වෙනිදා සවස බිඳ වැටී ඇති විදුලි සම්බන්ධතා පිළිසකර කර නොතිබීම හේතුවෙනි.
එමෙන්ම දිවයිනේ ප්‍රදේශ ගණනාවක විදුලි බිඳ වැටීම් වාර්තා වී ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය.
මෙවන් පසුබිමක විදුලිබල සමාගම්වල සේවකයින් පිරිසක්ද නඩත්තු කටයුතුවලින්, විදුලි බිඳ වැටීම් පිළිසකර කිරීම වැනි සේවා කිහිපයකින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වෙමින් සිටිති.

'අලුත් සමාගම්වල පත්වීම් ලිපි ලැබිලා නෑ'
විදුලි බල පනතේ මෙතෙක් සේවකයන් භුක්ති විදි සියලු වරප්‍රසාද ලබා දීමට නියම කර තිබිය දී අත්නෝමතික ලෙස සමූහික ගිවිසුමක් හෝ එකඟතාවයකින් තොර ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් නව සමාගම්වලට අනුයුක්ත කර ඇති බවට ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ බීබීසී සිංහල වෙත කියා සිටියේය.
"ඈවර කරපු විදුලි බල මණ්ඩලයේ සේවකයෝ පහුගිය 8 වෙනිදා රෑ 12න් පස්සේ විදුලි බල මණ්ඩලයේ සේවයට අහෝසි වුණා. දැන් විදුලි බල මණ්ඩලයේ සේවකයෝ නැහැ. ඒ ඈවර කරපු විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට පත්වීම් ලිපි දීලා තියෙන්න ඕනේ අලුත් සම්ගම්වල. හැබැයි අලුත් සමාගම්වල පත්වීම් ලිපි 9 වෙනිදා උදේත් ලැබිලා නෑ."
සේවකයන් සංක්‍රාන්ති සමයක සිටින බව පැවසූ විදුලි බල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපතිවරයා, සේවකයන් වැඩ වර්ජනයක් සිදු නොකරන බවත් ඔවුන් සේවයෙන් ඉවත්ව සිටින බව කියා සිටියේය.
"අපිට බෑ, පත්වීමක් නැති, වගකීමක් නැති ආයතනයක සේවය කරන්න. ඒකේ වගකීම කවුරුත් ගන්නේ නෑනේ." යි කෝසල අබේසිංහ පැවසීය.
මෙම කරුණු සම්බන්ධව සාකච්ඡා කළ බවත් අදාළ කරුණු සම්බන්ධව ලිඛිතව ලබා දීමට ඇමතිවරයා පවා කැමැත්තක් නොදක්වන බවත් ඔහු පැවසීය.
ඉල්ලීම් 64න් 62ක් ලබා දීමට එකඟයි - සභාපතිවරුන්ගෙන් නම් නැති ලිපියක්
මේ අතර විදුලි සමාගම් පාලනාධිකාරිය විසින් සේවක වෘත්තිය සමිති සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාර්තු 10 වෙනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සේවක ඉල්ලීම් 64න් 62ක් ලබා දීමට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ බවයි.
එම සමාගම් හතරෙහි සභාපතිවරුන්ගේ අත්සනින් සියලු සේවකයන් අමතමින් නිකුත් කර තිබූ එම නිවේදනයේ සභාපතිවරුන්ගේ නම හෝ නිල මුද්‍රාවක් නොතිබීම විශේෂත්වයකි.
ඉල්ලීම්වලට එකඟ වීම සලකා බලා විදුලිය අත්‍යවශය සේවාවක් ලෙස නම් කර ඇති මොහොතක මහජනතාව අපහසුතාවයට පත් නොකර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නවතා දෛනික රාජකාරීවලට වාර්තා කරන ලෙස සමාගම් සභාපතිවරු ඉල්ලා තිබේ.
එමෙන්ම ඉදිරි දින තුළ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සුදානම් කර එහිදී ඉල්ලා ඇති වැටුප් වැඩිවීම පිලිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලශක්ති ඇමතිවරයා එකඟ වූ බව එහි සඳහන් වේ.
සභාපතිවරුන්ගේ ලිපියේ නීත්‍යානුකූල භාවය ඉංජිනේරු සංගමය ප්‍රශ්න කරයි
කෙසේවෙතත් නව සමාගම් අධ්‍යක්ෂවරුන් විසින් නිකුත් කළ ඇති ලිපියේ නීත්‍යානුකූල භාවය ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ප්‍රශ්න කරන අතර එහි ගැටලු සම්බන්ධව සහ පැවති සාකච්ඡා, එකඟතා පිළිබඳ සටහනක් සංගමයේ ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.
"මෙම ලිපියේ නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් අප නිරීක්ෂණය කළ ප්‍රධාන ගැටලු ඔබගේ කාරුණික අවධානය සඳහා පහත පරිදි පෙළගස්වමු: උපුටා ගැනීමකි.
- අත්සන් කර ඇති පුද්ගලයන්ගේ නම් හෝ අනන්‍යතාව පැහැදිලිව තහවුරු කර නො තිබීම.
- අදාළ සමාගම් හයෙන් හතරක් වෙනුවෙන් හුදෙක් 'සභාපතිවරුන්' යැයි සටහන් කර අත්සන් තබා තිබීම.
- විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා වැනි නීත්‍යනුකූල බලයලත් නිලධාරියෙකු විසින් මෙම ලිපිය අනුමත (Endorse) කර නොතිබීම.
මෙසේ නීත්‍යනුකූල ලිඛිත එකඟතාවයක් ලබාදීමේ ප්‍රමාදය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සිදුවන්නක් වන අතර, වාචික එකඟතාවලට එකඟ විය නොහැකි වී ඇත්තේ මෙම නිලධාරීන් පසුගිය කාලයේ ක්‍රියා කළ අත්තනෝමතික ස්වභාවය හා ඒ හේතුවෙන් ඔවුන්ගේ ප්‍රකාශ කෙරෙහි අපගේ විශ්වාසනීයත්වය පළුදු වී තිබීමයි."
"ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය හමුවේ, සේවකයන් වන අප මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද කිසිදු අයුරකින් අඩු නොවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු කර ඇති වටපිටාවක, සේවක අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් ලංවිම සේවකයන් අනුප්‍රාප්තික සමාගම් (Successor Companies) වෙත අනුයුක්ත කිරීමට මේ වන විට සූදානම් වේ. අපගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් අප විසින් දිගින් දිගටම සිදු කළ ඉල්ලීම් සහ සාකච්ඡා අසාර්ථක වූ බැවින්, පසුගිය සඳුදා (9) පස්වරු 3.00 සිට වෘත්තීය සමිති 25 ක එකමුතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට අපට සිදු විය.
ඒ අනුව, අපගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීම උදෙසා වෘත්තීය සමිති 25 විසින් ඉදිරිපත් කළ යෝජිත සාමූහික ගිවිසුමේ වගන්ති සම්බන්ධයෙන්, අනුප්‍රාප්තික නව සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග 2026 මාර්තු මස 10 වන දින සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට අදාළ ව, නව සමාගම් 6 න් 4 ක සභාපතිවරුන්ගේ එකඟතාව හා ඔවුන්ගේ අත්සන් සහිත ව මේ වන විට ලිපියක් සමාජගත කර තිබේ.
මෙම ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් අපට එකඟ විය හැකි වුව ද, එහි නීත්‍යනුකූල වලංගුභාවය පිළිබඳ ව බරපතළ ගැටලු පවතී. එබැවින්, එම ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි අපගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට අපට නො හැකි බව මෙයින් කාරුණිකව දන්වා සිටිමු.
මෙම ලිපියේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් අප නිරීක්ෂණය කළ ප්‍රධාන ගැටලු ඔබගේ කාරුණික අවධානය සඳහා පහත පරිදි පෙළගස්වමු:
- අත්සන් කර ඇති පුද්ගලයන්ගේ නම් හෝ අනන්‍යතාව පැහැදිලිව තහවුරු කර නො තිබීම.
- අදාළ සමාගම් හයෙන් හතරක් වෙනුවෙන් හුදෙක් 'සභාපතිවරුන්' යැයි සටහන් කර අත්සන් තබා තිබීම.
- විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා වැනි නීත්‍යනුකූල බලයලත් නිලධාරියෙකු විසින් මෙම ලිපිය අනුමත (Endorse) කර නො තිබීම.
මෙසේ නීත්‍යනුකූල ලිඛිත එකඟතාවයක් ලබාදීමේ ප්‍රමාදය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සිදුවන්නක් වන අතර, වාචික එකඟතාවලට එකඟ විය නොහැකි වී ඇත්තේ මෙම නිලධාරීන් පසුගිය කාලයේ ක්‍රියා කළ අත්තනෝමතික ස්වභාවය හා ඒ හේතුවෙන් ඔවුන්ගේ ප්‍රකාශ කෙරෙහි අපගේ විශ්වාසනීයත්වය පළුදු වී තිබීමයි." යනුවෙන් එහි සඳහන් වේ.
'සේවයට වාර්තා නොකළොත් විනය ක්‍රියාමාර්ග ගන්නවා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ් සහ නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිම්ටඩ් යන සමාගම් විසින් මාර්තු 11 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, විදුලිය සැපයීම අත්‍යවශය සේවවාක් ලෙස නම් කර ඇති බැවින් සේවයට වාර්තා නොළහොත් විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවය.
වෘත්තිය සමිති ඉල්ලා සිටි ඉල්ලීම් 64න් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලය වශයෙන් සහ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ලබා දිය හැකි ඉල්ලීම් 62ක් ලබා දීමට වෘත්තිය සමිති සමග පැවති සාකච්ඡාවේ දී එකඟ වූ බව NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග පැවසීය.
අධ්‍යක්ෂවරුන්ට සහ අමාත්‍යවරයාට විසඳුම් ලබා දිය හැකි ඉල්ලීම්වලට පිළිතුරු ලබා දී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දී තිබෙන පසුබිමක කුමන අරමුණකින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගෙන තිබේදැයි යන්න ගැටලුවක් බව ද සභාපතිවරයා මාර්තු 11 වෙනිදා කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී කියා සිටියේය.
"දැන් තව ප්‍රශ්නක් කියනවා අධ්‍යක්ෂවරු අත්සන් කරපු ලියුම, බලශක්ති අමාත්‍යවරයා අත්සන් කරන්න ඕන කියලා. එහෙම දෙයක් නෑ. සමාගම් පනතේ කම්පැනියක් රෙජිස්ටර් කළාම අධ්‍යක්ෂවරුන්ට තමයි බලය තියෙන්නේ."
විදුලි බිඳ වැටීම් ගැන සමාගම් අධ්‍යක්ෂ කියන්නේ කුමක්ද?
සේවකයින්, සේවයට වාර්තා නොකර සිටියහොත් විදුලිය බිඳ වැටීම් සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළේය.
"ලංකාව පුරා තැනින් තැන බිඳ වැටීම් තියෙනවා හැබැයි ප්‍රධාන බිඳ වැටීම් ඒ අය යථා තත්ත්වයට පත් කරනවා ඒ අය වෘත්තිය සමිති ක්‍රියාමර්ගයේ සිටියදි. සමහර අය පොඩි පොඩි සිදුවිම් වාර්තා වෙච්ච ස්ථානවලට ගිහිල්ලා තියෙනවා. සම්පුර්ණයෙන්ම සියලු වෘත්තිය සමිති මේ ක්‍රියාකාරීත්වයේ නෑ. අපි හැම උත්සාහයක්ම දරනවා අවශ්‍යතාවය අනුව ඉක්මනින් ඒවා යථා තත්ත්වය පත් කරන්න." යැයි ඊට පිළිතුරු දෙමින් EDL පුද්ගලික සමාගමේ සභාපති, ඉංජිනේරු රෝහිත ජයරත්න කියා සිටියේය.
සේවකයන්ගේ පත්වීම් ලිපි ප්‍රමාද ඇයි?
එමෙන්ම සේවකයන් නව සමාගම්වලට පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ලබා දීම සම්බන්ධව ද හෙතෙම අදහස් පළ කළේය.
"මට ඉන්නවා සේවකයෝ දහසය දාහකට කිට්ටු ප්‍රමාණයක්. ඒ එපොයිමන්ට් ලෙටර් දාසය දහ සකස් කරන්න අපිට දවස් හතක විතර කාලයක් තිබුණා. 9 වෙනිදා හවස වෙද්දි ඔක්කොම ලෑස්ති කරලා ප්‍රින්ට් කරලා පිටත් කිරීමේ හැකියාවක් තිබිලා නැහැ. අපි අද ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා යවන්න. ඒකේ පොඩි ප්‍රමාදයක් තියෙනවා කොටසකට නමුත් මේ එපොයිමන්ට් ලෙටර් එක ඉෂු කිරීම අනිවාර්ය නැහැ මොකද ඇත්තටම අපේ ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එක, ඒ තැන ඒ විදියටම ට්‍රන්සර්වීමක් තමයි සිද්ධ වුණේ."
'පද්ධතියේ කඩාකප්පල්කාරී ලෙස බිඳ වැටීමක් කරලා නැහැ'
කිසිඳු සේවකයෙකු හිතාමතා විදුලිය බිඳ වැට්ටවිමේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර නොමැති බව අවධාරණය කළ ලංවිම පරිවර්තන කාර්ය සාධක බලකායේ නිරෝෂන් හැඩිගල්ල කියා සිටියේ, සිදුව ඇත්තේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් බිඳ වැටීම් යථා තත්ත්වයට පත් නොකරීම පමනක් බවය.
"බිඳ වැටීම් ඕන වෙලාවක වෙනවා. සමහර වෙලාවට රෑට කරන්ට් එක ගියාම උදේ ඕගොල්ලෝ නැගිටිනකොට කරන්ට් එක ගියාද නැද්ද කියලා දන්නේ නැහැ සමහර විට ඒක හදලා. කිසිඳු ඉංජිනේරුවෙක්, ඩ්‍රයිවර් කෙනෙක්, ගෝලයෙක් හිතලා ගිහිල්ලා බෙදා හැරීමේ පද්ධතියේ කරන්ට් කපලා නැහැ, හිතලා ගිහිල්ලා බෙදා හැරීමේ පද්ධතියේ කඩාකප්පල්කාරී ලෙස බිඳ වැටීමක් කරලා නැහැ. වෘත්තිය සමිතිවලට අයිතියක් තියෙනවා ඒගොල්ලන්ගේ සටන ඇතුළේ පෙනී සිටින්න වෘත්ති සමිති වැඩපිළිවෙලා ඇතුළේ. මොකක්ද ඒගොල්ලෝ අරන් තියෙන වැඩපිළිවෙල. බිඳ වැටීමක් වුණාම ඒක ගිහිල්ලා හදන්නේ නැහැ."
දින ගණනක විදුලිය බිඳ වැටීම ගැන ජනතාව මොකද කියන්නේ?
විදුලි බිඳ වැටිම් යථා තත්ත්වය පත් නොකිරීම හේතුවෙන් දින කිහිපයක් තිස්සේ අපහසුතාවයට පත්ව සිටින කිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට බීබීසී සිංහල වෙත හැකි විය.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සඳුනි පෙරේරා කියා සිටියේ දින තුනක පමණ නිසි පරිදි විදුලිය නොමැති වීම හේතුවෙන් එදිනෙදා වැඩකටයුතු කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවය.
"9 වෙනිදා රෑ මම ගෙදර එද්දී රෑ 12 විතර වුණා. ඇවිල්ලා ලයිට් දානකොට වැඩ කළා නමුත් ෆෑන් වැඩ කළේ නැහැ, වතුර උණු කරගන්න බැලුවා ඒ වැඩ කරන්නෙත් නැහැ, මොනවත් චාර්ජ් කරන්න බෑ. එක පාරට සප්ලයි එක එනවා යනවා. එදාම හොට් ලයින් එකට කතා කරලා පැමිණිළි කළා. ඒකෙන් කිව්වා පැමිණිළි ගොඩක් ඒ ගැන බලමින් ඉන්නවා කියලා. මං ඇහුවා කොච්චර විතර වෙලාවක් යයිද හදන්න කියලා, ඒ ගැන නම් හරියට කියන්න බැහැ කිව්වා. හොට් ලයින් එකෙන් කතා කරපු කෙනා කිව්වා කරන්ට් එකට ගහලා තියෙන බඩු ගලවලා තියෙන්න මොකද ලොකු කරන්ට් එකක් ආවොත් පිච්චෙන්න පුළුවන් කියලා."
ඇය මාර්තු 11 වෙනිදා උදෑසන බීබීසී සිංහල සමග අදහස් දක්වන විටත් තෙවෙනි දිනටත් විදුලිය යථා තත්ත්වයට පත්ව නොතිබිණි.
"කලින් නම් කරන්ට් එක කපනවා නම් හරි මොනවා හරි වෙනවා නම් අපිට ෆොන් එකට මැසේජ් එකක් එනවා. ඒ මොකක්දවත් නෑ දැන්, මේකට මොනවාද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපේ එදිනෙදා වැඩ ඔක්කොම අවුල් වෙලා තියනේනේ. අනිත් එක මේ රස්නේ කාලේ ෆෑන් එකක්වත් නොදා ඉන්නේ කොහොමද."යි සඳුනි පෙරේරා කියා සිටියාය.
හලාවත ප්‍රදේශයේ පරිගණක ආයතනයක් පවත්වාගෙන නිරෝෂා දිනේෂි සඳහන් කළේ දින තුනක් තිස්සේ පවතින විදුලි බිඳ වැටීම හේතුවෙන් ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බවය.
"අද තුන්වෙනි දවසටත් විදුලිය නැතුව ගිහිල්ලා තියෙන්නේ. දැන් අපිට මෙතන වැඩකරගන්න විදියක් නෑ. අපිට සේවකයන්ට පඩි ගෙවන්නත් වැදියක් නැහැ වැඩ කරගන්න බැරි වුණාම."
"ඕඩර්ස් දෙන්න විදියක් නැහැ. කරන්ට් එක නැති හින්දා වැඩ කරගන්න විදියක් නෑනේ. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ."






























