රටවල් විසි දෙකක් ශ්‍රී ලංකාව වෙනුවෙන්

ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ

ඡායාරූප මූලාශ්‍රය, webtv.un.org

ඡායාරූප ශීර්ෂ වැකිය, ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ

ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී රටවල් සඳහා අදහස් දැක්වීමට අවස්ථාව සලසන ලද අවස්ථාවේ දියුණු වෙමින් පවතින රටවල් විසි දෙකක් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ තීන්දුවට විරෝධය පළකළ බව ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ පවසයි.

බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී තානාපතිවරයා ප්‍රකාශ කළේ , ශ්‍රී ලංකාව සංහිඳියාවක් සඳහා කටයුතු කරමින් සිටියදී ජාත්‍යන්තර විභාගයක් පවත්වනු ලැබීම අනවශ්‍ය ක්‍රියා මාර්ගයක් වන බව එම රටවල් විසිදෙක ප්‍රකාශනයක් මගින් කියා සිටි බවයි.

‘ඊට අමතරව ඉන්දියාව ,පිලිපීනය නැමීබියාව සහ මාල දිවයින ඇතුළු තවත් රටවල් කීපයක් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිලි ගන්නා බව ප්‍රකාශයට පත් කළ බවයි ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ පවසන්නේ.

‘ඉන් පැහැදිලි වන්නේ මානව හිමිකම් කොමිසම රටවල අභ්‍යන්තර කාරනා වලට ඇඟිලි ගසන බව රටවල් කීපයක් පෙන්වා දෙන බව වන බවයි. මෙය සදාචාරමය මට්ටමින් සිදු කෙරෙන වැදගත් බලපෑමක්’ තානාපතිවරයා පවසයි.

අලුත් ප්‍රවනතාවයක් නොවේ

ශ්‍රී ලංකාවට සහය දක්වා ප්‍රකාශනයක් නිකුත් කල රටවල් මීට කලින්ද දිගටම රජයට සහය දැක්වූ කණ්ඩායම් බවයි ජිනීවා නුවර සිටින මානව හිමිකම් ක්‍රියාධරයකු වන සුනන්ද දේශප්‍රිය මේ අතර පැවසුවේ.

යෝජනාවට පක්ෂව සහය දැක්වූ කිසිදු රටක් ආපසු ශ්‍රී ලංකාවේ සහයට පැමිණ නැති බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකාවට පක්ෂව සහය දක්වන රටවල් නියෝජනය කරමින් ඊජිප්තුව මානව හිමිකම් මණ්ඩලයේදී අදහස් දැක්වූ නමුත් චීනය, මියන්මාර් වැනි රටවල් තනි තනිවත් කථා කළ බව ඔහු පැවසුවේය.

එම රටවල් විසින්ද ශ්‍රී ලංකාවට වැදගත් කරුණක් ඉදිරිපත් කළ බව පැවසූ ක්‍රියාධර සුනන්ද දේශප්‍රිය උගත්, පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටි බව ප්‍රකාශ කළේය.

ඒ සදහා ශ්‍රී ලංකා රජයට ඉඩ ලබා දිය යුතු බව එම රටවල් විසින් ඉල්ලා සිටි බවයි ඔහු පැවසුවේ.