බැංකොක් නගරයේ හමුදා විරෝධී පෙළපාලි

ඡායාරූප මූලාශ්‍රය, Getty

කුමන්ත්‍රණයක් මගින් පසුගිය සතියේ රටේ පාලන බලය පැහැර ගත් තායිලන්ත යුද හමුදාවට එරෙහි සිය ගණනක් උද්ඝෝෂකයන් බැංකොක් අගනුවර වීදි ඔස්සේ පෙළපාලියෙන් ගමන් ගත් බව වාර්තා වෙයි.

පස් දෙනකුට වැඩි පිරිසක් එක්රැස් වීම තහනම් කරමින් යුද හමුදා පාලනය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇතත්, හමුදාව එම විරෝධතා ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු නොකළ බවයි බැංකොක් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ග්ලුක් සිනවත් ඇතුළු තවත් මුල් පෙලේ දේශපාලන නායකයන් කණ්ඩායමක් රඳවා තැබීමට යුද හමුදා පාලනය ඊයේ සිකුරාදා පියවර ගෙන තිබුණි.

තවත් කැඳවීම්

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඒ හැර යුද හමුදා පාලනයට එරෙහි තවත් තිස්පස් දෙනකු යුද හමුදා පාලකයන් විසින් කැඳවනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

බලයෙන් පහ කෙරුණ ආණ්ඩුවේ ආධාර කරුවන් වන තායිලන්ත ‘රතු කමිස’ සංවිධානයට මුදල් සහ වෙනත් ආකාරයෙන් දායක වෙන බලවේග කෙරෙහි අවධානය යොමු කරන යුද හමුදා පාලනය, ඉදිරි කාලයෙහි තමන්ට එරෙහිව නැගී සිටීමට ඉඩකඩ ඇති ඕනෑම අභියෝගයක් වළක්වා ලීම සඳහා සූදානමින් සිටින බවයි, බැංකොක් නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.