සාමය රැකීම සඳහා හමුදාව කැඳවීමට 'පොලීසියට බලය තිබෙනවා'

Akila Dinesh, who was shot dead in Weliweriya
ඡායාරූප ශීර්ෂ වැකිය, වැලිවේරියේ රතුපස්වල උද්ඝෝෂකයන්ට හමුදාව වෙඩි තැබීමෙන් අකිල දිනේෂ් ශිෂ්‍යයා ඇතුළු තිදෙනකු මරුමුවට පත් විය

රටේ සාමය ආරක්ෂා කිරීම පිණිස ඇතැම් අවස්ථාවල හමුදාව කැඳවීමට පොලීසියට බලය තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.

කෙසේ නමුත්, වැලිවේරියේ රතුපස්වලදී උද්ඝෝෂණයේ යෙදුන මහජනතාව විසුරුවා හැරීම සඳහා හමුදාව කැඳවූ අවස්ථාව හමුදාව සිය බලය ඉක්මවා කටයුතු කළේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වීමට තීරණය කළ බව කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා පැවසීය.

"ඇතැම් අවස්ථාවල දී පොලීසියට, හමුදාවේ රැකවරණය ලබා ගැනීමට නීත්‍යානුකූලව අයිතියක් තියෙනවා. එවැනි තත්වයක් තිබුනද නැද්ද කියන ඒක අපි නිරාකරණය කරන්නයි හදන්නේ," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීමට ගත ක්‍රියාමාර්ග සහ ඊට අදාළ පරීක්ෂණ වාර්තා සති දෙකක් ඇතුලත තමන්ට යොමු කරන මෙන් යුද හමුදාවට සහ පොලීසියට නියෝග කළ බව ද සභාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

කෙසේ නමුත් සිය කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුත් නීතියෙන් බැඳී නොසිටින බව සභාපතිවරයා පිළිගත්තේය.

රතුපස්වල පිහිටි හේලීස් සමාගමට අයත් අත් වැසුම් කම්හල මගින් ප්‍රදේශයේ පානීය ජලය දූෂණය වන්නේ දැයි සොයා බැලීමට ද කොමිසම තීන්දු කළ බව කොමිසමේ ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.