දේවස්ථානයකට පහරදීම පිලිබඳ ඥානසාර හිමියන්ට චෝදනා

Galabodaatte Gnanasara thero
ඡායාරූප ශීර්ෂ වැකිය, දේවස්ථානයකට පහර දීම, ජංගම දුරකතනයක් හා රන්මාලයක් සොරකම් කිරීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන්ට නඩු පවරා තිබේ

ක්‍රිස්තියානි දේවස්ථානයකට පහර දීම සහ සොරකම් කිරීම ඇතුළු චෝදනාවලට නිවැරදිකරු බව බොදු බල සේනා කැඳවුම් කරු ගලබොඩ වත්තේ ඥානසාර හිමියෝ අධිකරණය ඉදිරියේ පැවසූහ.

2008 ජුනි හත් වනදා තලාහේනේ කල්වාරි යාඥා මධ්‍යස්ථානයට පහර දී අලාභ හානි සිදුකිරීම මෙන්ම ජංගම දුරකතනයක් හා රන්මාලයක් සොරකම් කිරීම ඇතුළු චෝදනා එකොළහකට එරෙහිව ඥානසාර හිමි ඇතුළු දහතුන් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ චෝදනා පත්‍ර ගොනු කොට තිබුණි.

විත්තිකරුවන් සියලු දෙනාම පැවසුවේ එම චෝදනා සියල්ලටම නිවැරදි කරුවන් බවයි.

බ්‍රහස්පතින්දා නඩු විභාගයේදී සාක්ෂි දුන් අදාළ දේවස්ථානය භාරව කටයුතු කළ රොෂාන් හෙන්ද්‍රිකස් දේවගැතිවරයා, යාඥා නතර කරන ලෙස විත්තිකරුවන් තර්ජනය කළ බවත්, ගලබොඩ වත්තේ ඥානසාර හිමි තමන්ගේ උදරයට පයින් පහර දුන් බවත් පවසා සිටියේය.

කෙසේ නමුත් අනවශ්‍ය ගැටුමක් වලක්වා ගැනීම පිණිස තමා ඒ පිළිබඳව පොලිස් කට උත්ත්තරයේ සඳහන් නොකළ බවද දේවගැතිවරයා පැවසීය.

නඩු විභාගය ලබන මස 19 වැනි දිනට කල් තැබිණ.