20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය: ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 6ක ජයක් !

ඡායාරූප මූලාශ්‍රය, Chris Hyde-ICC
20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (නොවැම්බර් 01 වැනිදා ) සමත්විය.
ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 3 වැනි ස්ථානයට
පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද (නොවැම්බර් 01 වැනිදා) බ්රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ විය. ශ්‍රී ලංකාවට එරෙහි තරගයයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
එම තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහලට පැමිණීයේය.
ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබාගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තීරණාත්මක විය.
තරග පරාජයත් සමඟ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට 20/20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුව ගිලිහී ගියේය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස්කළේය.
පන්දුවාර 18යි පන්දු 03ක් ඇතුළත කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 148ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් රැස්කරගැනීමට සමත්විය. පන්දු 42කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.
කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 18ක් රැස්කරගැනීමට සමත්විය.
තරගයේ වීරයා වූ වනිඳු හසරංග කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය ලබන 5 වැනිදා පැවැත්වීමට නියමිතය.
අද තරගය තීරණාත්මකයි
අද තරගයේ ඇති විශේෂත්වය වන්නේ පරාජය වන කණ්ඩායමට තරගාවලියේ ඉදිරිය පිළිබඳ සියලු බලාපොරොත්තු අහිමිවීමයි. ඒ අනුව පරාජිතයින් අවසන් පූර්ව තරග වටයට පිවිසීමෙන් ඉවතට විසිවනු ඇත.
තරගාවලියේ 32 වැනි තරගය ලෙස පැවැත්වෙන අද තරගයට කාලගුණයෙන් බලපෑමක් එල්ල වේදැයි ක්‍රිකට් ලෝලීහූ විමසිල්ලෙන් පසුවෙති. කාලගුණ අනාවැකි අනුව වැසි ඇතිවීමේ ප්‍රතිශතය 90% කි.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමු කාණ්ඩයේ කණ්ඩායම් 6 අතුරින් ලකුණු සටහනේ අන්තිම කණ්ඩායම බවට පත්ව සිටියි. අයර්ලන්තයට එරෙහිව ලද තරග ජයත් සමඟ ලද ලකුණු 2 ත් සමඟ ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටිමින් අද තරගයට පිවිසෙයි.
ඒ අනුව මෙම තරගයේ ජය දෙපිළමට ඉතාම තීරණාත්මක වනු ඇත.
සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මේ දක්වා තරග 3 ක්‍රීඩා කර ඇත. එහි පළමු තරගය ලෙස පැවති අයර්ලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ජය ලැබූ අතර, ලෝක ශූර ඔස්ට්‍රේලියාව හා ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහි තරග වලින් පරාජයට පත්විය.
ඇෆ්ගනිස්ථාන හා ශ්‍රී ලංකා කණ්ඩායම් පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දෙවරක් මුණ ගැසුණු අතර එහිදී මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 105 කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්විය.
එහෙත් ප්‍රධාන වටය යටතේ පැවති තරගයේදී ලකුණු 176 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා යමින් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඇෆ්ගනිස්ථානයට එරෙහි එම තරගය ජය ගනු ලැබූහ.
නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය මෙම කාණ්ඩයේ වඩාත් හොඳ ස්ථානවල පසුවීම ඊට හේතුවයි.
අයර්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 42ක ජයක් හිමිකර ගත් අතර එම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 2ක් හිමිකරගත් ඔස්ට්‍රේලියාව සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.
එහි පෙරමුණ හිමිකරගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.
එංගලන්තය සහ අයර්ලන්තය තුන් වැනි සහ සිව් වැනි ස්ථාන හිමිකර ගෙන සිටිති.
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ එක් කාණ්ඩයකින් වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 2ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සහ නොවැම්බර් 5 වැනිදා එංගලන්තය සමඟින් වන තරගය වැඩි ශුද්ධ ලකුණු වේගයක් සහිතව ජය ගැනීමට සමත් වුවහොත් ඔවුනට අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.
20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ලාභියා මෙන්ම කඩුලු ලාභියාද පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේය.
කුසල් මෙන්ඩිස් වැඩිම ලකුණු ලාභියා වන අතර වනිඳු හසරංග වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි.
අවසන් තරග දෙකේදී එක් කඩුල්ලක් පමණක් දවාගෙන සිටියද, වනිදු හසරංග තරග 6 කදී දවා ගැනීම් දහයක් සමඟින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස දිගටම රැඳී සිටියි.
කණ්ඩායම්වල වෙනසක් සිදුවෙයිද?
උදරාබාධයක් හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් ඔවුන්ගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ආදේශ කර ඇත.
ඒ අනුව කුසල් මෙන්ඩිස් (WK), පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ප්‍රමෝද් මධුෂාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර අද තරගයට ක්‍රීඩා කරනු ඇත.
20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයේ සිට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් ආබාධ රැසකට මුහුණදුන් අතර එම ක්‍රීඩකයන් කිහිපදෙනකු තරගාවලියෙන් ඉවත්වීම ද ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අභියෝගයක් විය.
"අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අතහැර නැහැ"
නවසීලන්තය හමුවේ පරාජයට පත් වුවද ඉතිරි තරග දෙක වඩාත් යහපත් මට්ටමේ දල ලකුණු වේගයකින් ජයගෙන අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ශ්‍රී ලංකා විස්සයි 20 නායක දසුන් ශානක ප්‍රකාශ කළේය. ඔහු ඒ බව කියා සිටියේ නවසීලන්ත තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
"ඉදිරි තරග දෙකේදී, විශේෂයෙන්ම හොඳ ලකුණු වේගයක් සමඟින් ඒ තරග දෙකෙන් අපි ජයගත යුතුයි. එහෙම ඉදිරියට යන්න පුළුවන් නම්, මම හිතන්නේ අපිට අවසන් පූර්ව වටයට එන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. මොකද අපි ගොඩක් දුෂ්කර කාලවලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා අපට තවමත් දැන් සිටින ස්ථානයෙන් ඉදිරියට යා හැකි බව මගේ විශ්වාසයයි" දසුන් ශානක ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතා තීරණාත්මක සාධකයක් වූ බව දසුන් ශානක මාධ්‍ය හමුවේදී පිළිගත්තේය. ග්ලෙන් පිලිප්ස් දෙවරක්ම දවා ගැනීමේ අවස්ථා ශ්‍රී ලංකා පිලෙන් ගිලිහී ගිය අතර අනතුරුව ඔහු ශතකයක් රැස්කිරීමට සමත්විය.
" අපි ඇත්තටම නවසීලන්තයට එරෙහි තරගය හොදින් පටන් ගත්තා. අතහැර දැමූ උඩපන්දු නිසා තරගයේ අපට තිබූ වාසිය වෙනස් වුණා. මේ තත්ත්වය මත ග්ලේන් පිලිප්ස් ශතකයක් ලබා ගත්තා. ඒක තමයි මේ තරගයේ හැරවුම් ලක්ෂය වුණේ. නවසීලන්තය ලකුණු 130ක්, 140ක්, වගේ තියාගන්න තිබුණා. ග්ලේන්ගේ ප්‍රහාර හමුවේ එය වැලකුණා. ග්ලේන් පිලිප්සට හැර කිසිවකුට විශාල ලකුණු ලබා ගැනීමට නොහැකි වුණා. පිලිප්ස්ගේ ගේ ඉනිම ගොඩක් හොද එකක් කියන්නේ ඒකයි"
" පැතුම් හොද පන්දු රකින්නෙක්. ඔහු මෙයට කලින් මේ වගේ උඩ පන්දු අත්හැර නෑ. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී උඩපන්දු අතහරින්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා කිසිවෙකුටත් දොෂාරෝපණය කරන්න බෑ. අප කළ යුත්තේ මීළඟ තරගයේදී නැවත කණ්ඩායමක් ලෙස තියුණු විදිහට ප්‍රතිවාදීන්ට එරෙහිව තරග කිරීමයි" දසුන් ශානක සඳහන් කළේය.












