අධිකරණයට අපහස කිරීමේ චෝදනාව: සනත් නිශාන්තට වැඩ වරදී ද?

ඡායාරූප මූලාශ්‍රය, Newswire
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අභියාචනාධිකරණය අද (සැප්තැම්බර් 29) සිතාසි නිකුත් කළේය.
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චෝදනා පත්‍රයක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසට ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට නියම කරනු ලැබීය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
තම අධිකරණය හමුවට පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කර ඇති එම මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන හඬ පට හා ප්‍රවෘත්ති වාර්තා මෙන්ම අනෙකුත් සාක්ෂි ලේඛන අනුව වගඋත්තරකරු අධිකරණයට හා අධිකරණ විනිසුරුවරුන්ට අපහාසයක් සිදු කර ඇති බව බැලූ බැල්මට අනුමාන කළ හැකි බවට නිගමනය කළ විනිසුරු මඩුල්ල ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩුකරයක් පවත්වාගෙන යාමට තීරණය කරමින් එම නියෝගය නිකුත් කළේය.
නිතීඥ විජිත කුමාර සහ නීතිඥ ප්‍රියලාල් සිරිසේන විසින් මෙම පෙත්සම් දෙක අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම්වලින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා ලබා දෙන ලෙසයි.
මෙම වගඋත්තරකරු ඉකුත් මැයි මස 09 වන දින ගාලු මුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකරුවකු වන බවද පෙත්සම්වල සඳහන් කර ඇත.
වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය අගෝස්තු 23 වන දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතළ ලෙස අපහාසයක් සිදු කර ඇති බැවින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර නඩු පැවරීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබේ.
වගඋත්තරකරු විසින් සිදු කර ඇත්තේ ඉතා බරපතළ වරදක් බවත් කුමන තනතුරක් දැරුවත් හෝ ඕනෑම පුද්ගලයකු නීතියේ ආධිපත්‍යයට යටත් වන බව පෙන්වා දෙමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ උපුල් ජයසූරිය ඉදිරිපත් කළ කරුණු පිළිගත් විනිසුරු මඬුල්ල ලබන මස 13 වැනිදා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නියම නොකිරීමට හේතුව ඇත්නම් දක්වන ලෙසට වග උත්තරකරුට නියෝග කළේය.
එදින ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වගඋත්තරකරු කළ ප්‍රකාශය මගින් ඔහුව සෘජුවම අධිකරණයට හා ගරු විනිසුරුවරුන්ට දැඩි ලෙස අපහාසයක් කර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105/(3)තුන ව්‍යවස්ථාව යටතේ චෝදනා ගොනු කරන ලෙසත් නඩු විභාගය අවසන් වන තුරු විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නීතීඥවරන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාස කර ඇති බැවින් ඒ පිළිබඳ කරුණු විමසා ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය අගෝස්තු 25 වැනිදා නීතිපතිවරයා වෙත සංදේශයක් භාර දුන්නේය.
"රංජන් රාමනායකට ක්‍රියාත්මක වෙච්ච නීතිය සනත් නිශාන්තට ක්‍රියාත්මක වෙන විදිහ අපි බොහෝම අවදානයෙන් යුතුව දෑස් විදහා බලා සිටිනවා" සමාජ ක්‍රියාකාරිකයෙකු වන නිරාශාන් විතානගේ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පසුගිය අගෝස්තු 23 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සනත් නිශාන්ත අරගලකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ගැන මෙසේ අදහස් පළ කළේය.
"ඉතිහාසයේ අපි දැකලා තියෙනවා මේකේ මර්දනය කොහොමද වුණේ කියලා නේද? 88/89 කොහොමද අපේ රටේ මර්දනය වුණේ කියලා අපි දැකලා තියෙනවා. එකත් එක්ක ගත්තාම බොහොම සිල්ලර මර්දනයක්. එහෙම නම් මම එදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු හැටියට මාස 03 යි දවස් 19ක් මාව රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබුණේ කිසිම හේතුවක් නැතිව."
"අද නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්, නීතිඥ සංගමයේ සමහර නිලධාරීන්, සමහර විනිසුරුවරුත් වග කියන්න ඕනේ මේ අපරාධකාරයොන්ව අද ගෙනිච්චි හෙට ඇප දීලා එලියට දානවා. එයාලා කිසිම බයක් හැකක් නැහැ. රටේ නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. ඕන කෙනෙකුට ගහන්න පුළුවන්. මරන්න පුලුවන්. රාජ්‍ය දේපළ විනාශ කරන්න පුලුවන්. පොදු දේපළ පනත නැහැ. පුරා විද්‍යා පනත නැහැ. ඒ පුරා විද්‍යා පනතෙන්, පොදු දේපළ පනතෙන් දැම්මාම සාමාන්‍යයෙන් හයිකෝට් එකෙන් ඇප ගන්න ඕනේ. මේක එම්.සී එකෙන් ඇප දීලා යවනවා. ඒ නිසා ඒකට සමහර නිලධාරීත් වගකියන්න ඕනේ කියන එකයි මගේ අදහස."
සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නීතිඥ සුනිල් වටගල "මහත්තයෝ අධිකරණයට අපහාස කරන්නේ ඕගොල්ලෝ, අදටත් එහෙම ප්‍රකාශයක් කරන්න ඔයාට නීතියෙන් හැකියාවක් නැහැ." යනුවෙන් කියා සිටියේය.
පරීක්ෂණයක් කරන්නැයි අධිකරණයෙන් නියෝග
සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අධිකරණයට බලපෑමක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කර ඇතැයි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ද අගෝස්තු 24 වනදා අධිකරණයේදී ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ ඉන් අධිකරණ කටයුතුවලට සහභාගි වන නීතිඥවරුන්ට හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑමක් සිදුවන බවය.
සැකකාර මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය අඩංගු මුල් වීඩියෝ පටය අදාළ මාධ්‍ය ආයතනවලින් කැඳවා ඒ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී නියෝග කළේය.
පසුගිය මැයි 9 වැනිදා ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කරන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක සමඟ ඩෑන් ප්‍රියසාද් නමැත්තා අගෝස්තු 24 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තම ජංගම දුරකතන භාර දුන්නේය.
කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන තෙක් සැකකරුවන් අධිකරණ භාරයේ රඳවා තබා ගන්නා ලෙසය.
මීට පෙර අධිකරණය සැකකරුවන්ට නිකුත් කර තිබූ නියෝගය අනුව කටයුතු නොකිරීම හේතුවෙන්, මෙම නියෝගය නිකුත් කළ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ නියෝග කඩ කරන්නේ නම් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරු ප්‍රශ්න කළහ.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ අවසානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව නීතිපතිවරයා තමන්ට උපදෙස් ලබා දෙන බවට දන්වා ඇති බවය.












