ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ට ජගත් නීතිඥ සංගමයෙන් පණිවුඩයක්: "අධිකරණයට අපහාස කිරීම ගැන සිර දඬුවම් පැනවීම පිළිතුර නොවේ"

හෙලනා කෙනඩි සාමි වරිය
    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නිරන්තරයෙන් යොදාගැනීම පිළිබඳ දෙවරක් සිතා බලන මෙන් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය (IBAHRI) පවසයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් "සිර දඬුවම් පැනවීම පිළිතුර නොවන," බව ද එම ආයතනයේ අධ්‍යක්ෂිකා හෙලනා කෙනඩි සාමිවරිය බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

"අධිකරණයට අපහාස කිරීම කියන වරද නිරන්තරයෙන් යොදාගැනීම ගැන දෙවරක් හිතන්න කියල මම ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වරදට මිනිසුන් නිතර සිරගත කිරීම මේකට පිළිතුර නොවෙයි," ඇය පැවසීය.

1947 දී පිහිටුවන ලද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය (IBA), ලොව පුරා රටවල නීතිඥ සංගම් සහ නීති ක්ෂේත්‍රයේ සේවයේ නිරත වූවන් නියෝජනය කරන ජාත්‍යන්තර ආයතනය වේ. එහි මානව හිමිකම් ආයතනය (IBAHRI), සාධාරණ නීතියේ ආධිපත්‍යය යටතේ මානව හිමිකම් ප්‍රවර්ධනය, ආරක්ෂා කිරීම සහ සහතික කිරීම මෙන්ම විනිසුරුවරුන්ගේ සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස ක්‍රියාකරන ස්වාධීන, ජාත්‍යන්තර සංවිධානයකි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බන්ධනාගාර රථයට නගිමින්

ඡායාරූප මූලාශ්‍රය, facebook

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිව් වසරක සිර දඬුවම් නියමවීමේ පසුබිම යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරද සහ ඒ සම්බන්ධයෙන් දිය යුතු දඬුවම සම්බන්ධයෙන් IBAHRI ආයතනයේ ස්ථාවරය කවරක් ද යන්න බීබීසී සිංහල සේවය හෙලනා කෙනඩි සාමිවරිය වෙත මතුකරන ලද ප්‍රශ්නයකි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වුවත්, වෙනත් රටක විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දැක්වීම ඉතා දුෂ්කර කරුණක් බව කියා සිටි සාමිවරිය, අධිකරණයට අපහාස කිරීම පිළිබඳව පියවර ගත යුතු අතර අධිකරණයට සහ අධිකරණයේ නීතියට ගරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළාය.

"ඒ වගේම අධිකරණ පද්ධතියට අපහාස කරන පුද්ගලයන් ගැන කටයුතු කරන්න විනිසුරුවන්ට බලය තිබිය යුතුයි," හෙලනා කෙනඩි සාමිවරිය එසේ කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

"ඒත් අධිකරණයට අපහාස කිරීම ගැන අවුරුදු ගණන් සිරගත කරන එක හරිම දුර්ලභ දෙයක්. නිසි කළමනාකරණයක් තියෙන අධිකරණයකට එවැන්නක් අවශ්‍ය නැහැ. මේ වගේ තත්ත්වයක් ගැන කටයුතු කරන්න දීර්ඝ සිර දඬුවම් දීම ගැන මගේ අවධානය පළ වෙනව."

Presentational grey line

කියවන්න:

Presentational grey line

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත දෙවසරක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාවක් ප්‍රදානය කරන ලද අතර, හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න ද එම චෝදනාව යටතේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබිණ.

වීඩියෝ ශීර්ෂ වැකිය, "ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය

ස්වාධීන විනිසුරුවරුන්

වැඩිදුරටත් අදහස් දැක්වූ සාමිවරිය, "ආණ්ඩුව හෝ රාජ්‍යය විසින් නතුකර ගත නොහැකි ස්වාධීන විනිසුරුවරුන් සිටීම" කිසියම් රටක නීතියේ ආධිපත්‍යය සඳහා ඉතාමත් වැදගත් කරුණක් බව අවධාරණය කළාය.

"ඇතැම් අවස්ථාවල, ආණ්ඩුවලින් එල්ලවන පීඩනවලට එරෙහි වෙන්න සිදුවෙන බව දන්නා විනිසුරුවරුන් සිටීම, ස්වාධීන අධිකරණයක පැවැත්ම සහ නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්. එවැන්නක් පවත්වා ගැනීම විනිසුරුවන්ටත් ලොකු වගකීමක්."

ඉබාරි (IBAHRI) ආයතනය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය දෙස කලක් ඉතා කලකිරීමෙන් යුතුව බලා සිටි බව පවසන එහි අධ්‍යක්ෂවරිය, "ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ මිනිසුන් ඉන්න රටක්. වෙන හැම රටකම වගේ නිදහස සහ ගැටුම්වලින් තොරව ජීවත්වෙන්න කැමති හොඳ මිනිසුන් ඉන්න රටක්. ඒ සඳහා ඔබට හොඳ ආයතන අවශ්‍යයි," යනුවෙන්ද සඳහන් කළාය.

'ඒකාධිපතියන්' සහ ශානි අබේසේකර

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ශ්‍රී ලංකාවේ සිටින කීර්තිමත්ම රහස් පරීක්ෂකවරයෙකු ලෙසින් සැලකෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දැක් වූ හෙලනා කෙනඩි සාමිවරිය අවධාරණය කළේ, ආණ්ඩුවක් කිසියම් පුද්ගලයෙකුට අකමැතිවීම හේතුවෙන් ඔහු/ඇය අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය.

"මම දන්නවා, ඉහළම තලයේ පුද්ගලයන්ට එරෙහි දූෂණ චෝදනා විභාග කළ රහස් පරීක්ෂකවරයෙක් ලංකාවේ බන්ධනාගාරයේ ඉන්නවා. අපරාධ චෝදනා යටතේ ඒ වගේ පුද්ගලයෙක් හදිසියේම අත්අඩංගුවට ගත්ත බව බාහිර කෙනෙකුට අහන්න ලැබුනම ඒක හරිම භයානක තත්ත්වයක්," ඇය සඳහන් කළාය.

සාමිවරිය පවසන්නේ, මෙය 'ඒකාධිපතියන්' සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතක් බවය.

"ලෝකේ පුරාම ඒකාධිපතියන් මේ දේ කරනවා."

කොරෝනාවෛරසය වැළඳී තිබියදීත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර දිගින් දිගටම අත්අඩංගුවේ රඳවා ගැනීම පිළිබඳව ඇම්නස්ටි ජාත්‍යන්තරය ඇතුළු සංවිධාන බරපතල අවධානය පළ කොට තිබිණ.

මේ අතර ඔහුට එරෙහිව ව්‍යාජ චෝදනාවක් ගොනුකරන මෙන් පොලිස් නිලධාරියෙකු ලෙසින් හඳුන්වාගත් පුද්ගලයෙක් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව ස්වීඩනයේ වෙසෙන චාමලී මදනායක පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳව සිය අවධානය පළ වී තිබෙන බවත් බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන හෙලනා කෙනඩි කියා සිටියාය.

"ශ්‍රී ලංකාව තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ කියල මට ඒත්තු ගන්වනවා නම් මම කැමතියි," යනුවෙන් සඳහන් කළ කෙනඩි සාමිවරිය, "අත්අඩංගුවේ ඉන්න අය ඇතුළු හැම දෙනාගේම මානව හිමිකම්වලට ගරු කරන්න ඕනේ," යනුවෙන් අවධාරණය කළාය.

ස්කොට්ලන්ත ජාතික රාජ නීතිඥවරියක සහ බැරිස්ටර්වරියක වන හෙලනා කෙනඩි, වසර හතක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මෑන්ස්ෆීල්ඩ් කොලීජියේ විදුහල්පතිනිය ලෙස ද සේවය කළාය. ඇය සම්මානලාභී රූපවාහිනී නිවේදිකාවක ද වේ.

Presentational grey line

කියවන්න:

Presentational grey line

ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

උද්ඝෝෂණයක නිරතව සිටින නීතිවේදී හිජාස් හිස්බුල්ලා

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් "ත්‍රස්තවාදී" චෝදනා යටතේ පුද්ගලයන් රඳවා ගනු ලැබීම පිළිබඳව අදහස් දැක්වූ සාමි මන්ත්‍රීවරිය, පසුගිය අප්‍රේල් මාසයේ සිට ත්‍රස්ත විරෝධී නීතිය යටතේ පොලිස් අත්අඩංගුවේ පසුවන මානව හිමිකම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා මුහුණ දී සිටින තත්ත්වය ගැන විශේෂ අවධානය පළ කළාය.

"බන්ධනාගාරයේ ඉන්න අයට නීතිවේදීන් හමුවීමට අවසර නොදීම ගැන අහන්න ලැබුනම මට හරිම කණගාටුයි," ඇය සඳහන් කළාය.

"අනික අත්අඩංගුවේ ඉන්න අය නීතිවේදීන් හමු වුනාම බලධාරීන් ඔවුන්ගේ සංවාදවලට සවන්දෙනවා."

නීතිඥ හිජාස් හිස්බුල්ලාට සිය නීතිවේදියා හමුවීමට අවසර ලැබී තිබෙන්නේ අවස්ථා කිහිපයකදී පමණි. එය ද විමර්ශන නිලධාරියෙකු ඉදිරිපස දී විනාඩි 10 ක පමණ කාලයකටය. එහිදී ඔහුට තමන්ට එරෙහි චෝදනා ගැන අදහස් දැක්වීමට අවසර දී නැත.

"ඒක නිසි ක්‍රමවේදය නොවෙයි. ඒක නීතියේ ආධිපත්‍යය ප්‍රකාර කටයුතු කිරීම නොවෙයි," හෙලනා කෙනඩි සාමිවරිය කියා සිටියාය.

පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ වීමේ චෝදනා මත අත්අඩංගුවේ පසුවන නීතිවේදී හිජාස් හිස්බුල්ලා ජනවාරි 08 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ඔහුට කෝවිඩ්19 රෝගය වැළඳී ඇති බැවින් අධිකරණය වෙත ඉදිරිපත් කළ නොහැකි බව එදින පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව ඔහු තවත් දින 90 ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනවාරි 11 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

"ලංකාවේ මේ වගේ දේවල් නිතර සිදුවන බව අපි දකිනවා. තමන්ගේ ප්‍රතිවාදීන් දඩයම් කරන්න "ත්‍රස්තවාදය" කියන ලේබලය නිදහසේ යොදාගන්න පුළුවන්," යනුවෙන් ද රාජ නීතිඥ හෙලනා කෙනඩි සඳහන් කළාය.

නීතිවේදී හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදය අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමින් ඉබාරි ආයතනය පසුගිය වසරේ අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත විවෘත ලිපියක් ද යොමුකර තිබිණ.

Presentational grey line

කියවන්න:

Presentational grey line

බලහත්කාර ආදාහන

බලහත්කාර ආදාහනවලට එරෙහි විරෝධතාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කෝවිඩ්-19 රෝගය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හෙලා දකින ඉබාරි (IBAHRI) ආයතනය අවධාරණය කරන්නේ, එය රටේ ජන කොටසකගේ ආගමික අයිතිය උල්ලංඝනය කිරීමක් බවය.

"භූමදානය කියන්නේ ඉස්ලාමීය සම්ප්‍රදායයේ ප්‍රධානම කොටසක්. තමන් අදහන ආගමේ චාරිත්‍ර, වාරිත්‍ර තමන් කැමති විදියට පිළිපදින්න හැකිවීම ආගමික නිදහසේ කොටසක්," හෙලනා කෙනඩි සාමිවරිය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

"භූමදානයට අවසර නොදීම තමන්ගේ නෑසියන් අහිමිවුණ අයට ලොකු වේදනාවක්. මම හිතන්නේ මෙතන පැහැදිලිවම ආගමික නිදහස බිඳ වැටිලා තියෙනව."

කොරෝනා ආසාදිත වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය හෝ භූමදානය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය වී තිබේ. එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ, භූමදානය කිරීම මගින් භූගත ජලයට කොරෝනාවෛරසය පැතිරීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් උපදෙස් දී තිබෙන බවය.

"මම මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය විමසලා බැලුව. විද්‍යාව මත පදනම් වුණ. ඒ නිසා මිනිස්සුන්ගේ ආගමික නිදහස සීමා කරන්න විද්‍යාව මත පදනම් වුණ හේතු තියනවා කියල මම පිළිගන්නේ නෑ," කෙනඩි සාමිවරිය කියා සිටියාය.

මේ අතර ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය වැළදීමෙන් මරුමුවට පත්වන පුද්ගලයන්ගේ සිරුරු බැහැරකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නිර්දේශ සංශෝධනය කර ආදාහනය හා භූමදානය යන ආකාර දෙකම ඇතුළත් කරන මෙන් ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව රජයට යෝජනා කර තිබිණ.

පසුගියදා බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් වෛරසවේදය පිළිබඳ ලෝ ප්‍රකට විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් අවධාරණය කළේ, කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බවය.

කෙසේ වුවත් ආණ්ඩුව තමන් මුල සිටම දැරූ ස්ථාවරය වෙනස් කර නැත.

"මම ඒ ගැන කනගාටු වෙනවා," රාජ නීතිඥ හෙලනා කෙනඩි පවසන්නීය.

"මේ ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව වඩා පුළුල්ව උපදෙස් අරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේට සවන් දෙනවා දකින්න මම කැමතියි."

Presentational grey line

කියවන්න:

Presentational grey line

නීතිපති 'ආණ්ඩුවේ පෞද්ගලික නීතිවේදියා ලෙස කටයුතු නොකළ යුතුයි'

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගනු ලැබීම පසුගියදා ප්‍රබල අවධානයට ලක් වී තිබුණි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතනය කිරීම 'පිල්ලෙයාන්' මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව විය.

මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා ඉල්ලා අස්කරගත් නීතිපතිවරයා, කෝවිඩ් රෝගය ආසාදනය වී තිබියදීත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ඇප ලබාදීමට අධිකරණය ඉදිරියේ දිගින් දිගටම විරෝධය දැක්වූ නමුත් දූෂණ චෝදනා යටතේ නඩු පවරනු ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම අවලංගු කිරීමට එරෙහි නොවීය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් හෙලනා කෙනඩි සාමිවරිය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, "නීතිපතිවරයාගේ ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ මහජන යහපත උදෙසා අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීම," වෙනුවෙන් බවය.

"නීතිපතිවරයා ආණ්ඩුවේ පෞද්ගලික නීතිවේදියා ලෙස කටයුතු නොකළ යුතු," බව ද ඇය පැවසුවාය.

මෙසේ "දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන" බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය නීතිපතිවරයාගේ ප්‍රකාශිකා නීතිවේදිනී නිශාරා ජයරත්නගෙන් කිහිපවරක්ම කරන ලද විමසීම්වලට මෙතෙක් පිළිතුරක් ලැබී නැත.