ජනතා අදහස්: 'හිරිකිත යි ජනපතිතුමනි! මෙහෙම ද ජාත්‍යන්තර සහාය ගන්න හදන්නේ?'

A policeman walks past slogans painted on a wall against the newly elected Sri Lankan President Ranil Wickramasinghe, near the presidents office residence in Colombo on July 21, 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දා අබේසූරිය
    • Role, බීබීසී සිංහල

ගාලු මුවදොර අරගලබිම හා ඒ අවට රැඳී සිටි අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යයාලයෙන් සහ අවට ප්‍රදේශයෙන් පළවාහැරීමට ජූලි 22 අලුයම පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය කටයුතු කළේ ය.

අරගලභූමියේ සිටි ක්‍රියාකාරීන් සහ සිවිල් පුරවැසියන් බොහෝදෙනෙකුට සෙබළුන් ම්ලේච්ඡ ලෙස පහරදෙන දර්ශන සහිත වීඩියෝ පට දැන් අන්තර්ජාලය හරහා පැතිරෙමින් පවතින අතර සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රහාරයට සිය විරෝධය මෙන්ම එය නිවැරදි ක්‍රියාවක් බවටද ජනතාව අදහස් පළ කරමින් සිටිති.

ඒ අවස්ථාව සජීව ලෙස ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන් ද ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පහර කෑමට ලක්වී වී තිබුණි.

කෙසේ වෙතත් මෙහි දැක්වෙන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ ධුරයේ වැඩබාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යයාලය නැවත තම භාරයට ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහ පොලීසිය කටයුතු කළ අයුරු පිළිබඳ අරගල භූමියේ සිටි, නොසිටි ජනතා අදහස්වල එකතුවකි.

"උඹලා තමයි අරගල කරන්නේ කියලා මාව ඇදගෙන ගියා"

අද අලුයම ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂකයන්ට රජයේ ආරක්ෂක අංශයන් පහරදෙමින් සිටි අවස්ථාවේ දී ගුවන් හමුදා භටයෙකු සමාජ ක්‍රියාකාරිනී මෙලනි ගුණතිලකගේ දුරකථනය උදුරාගෙන එහිවූ පටිගත කිරීම් මකාදමා තිබුණි. මේ අවස්ථාවේ දී, සිදුවන්නේ කුමක්දැ යි විමසීමට එහි පැමිණි සමාජ ක්‍රියාකාරිකයෙකු වන සහන් රංජකට ගුවන් හමුදා භටයින් පහර දී තිබුණි.

මෙලනි ගුණතිලක පවසන පරිදි ඔවුන් රංජකගේ ගෙලින් අල්ලා ඔහුට පහරදී ඔහුව රැගෙනගොස් ඇත.

එම අවස්ථාවේ දී ෆේස්බුක් ලයිව් හරහා සිද්ධිය නිවේදනය කළ මෙලනි ගුණතිලක මෙසේ පැවසුවා ය: "මම දන්නේ නෑ ඔවුන් මොන පදනම යටතේ ද මිනිස්සුන්ව මෙහෙම අත්අඩංගුවට ගන්නේ කියලා. මේ තමයි රාජ්‍ය ත්‍රස්තවාදය. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට අයිතිවාසිකම් තියෙනවා. මට අනාරක්ෂිතබවක් දැනෙනවා නම්, මගේ ෆෝන් එක අරගෙන යමක් රෙකෝඩ් කරන්න මට අයිතියක් තියෙනවා. ඔවුන්ට කිසි අයිතියක් නෑ ඇවිත් මගේ ෆෝන් එක අරන් යන්න. මගේ යාලුවා මගේ උදව්වට ආවම, ඔවුන්ගේ වැඩේට විරුද්ධ වෙලා ඔවුන් මොකද්ද කරන්නේ කියලා ප්‍රශ්න කළ නිසා, තමන්ගේ යාලුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ආව පළියට ඔවුන්ට කිසි අයිතියක් නෑ එයාව ඇදගෙන යන්න. මේකද අපි අපේ ළමයි වෙනුවෙන් ඉතිරි කරලා යන රට? මේක ආරක්‍ෂිත [රටක්] වෙන්නේ කොහොමද?"

ගුවන් හමුදා අත්අඩංගුවට පත් සහන රංජක පසුව නිදහස්කර තිබුණි. එම අවස්ථාවේ දී සිදුවූ දෙය ඔහු අප හා පැවසුවේ ය.

"...එයා [මෙලනි] මගේ යාලුවා හින්දා මම කිව්වා 'හරි අපි යන්නම්' කියලා, යන්න හදද්දී තමයි 'ආ වරෙං වරෙං උඹව ඇරෙස්ට් කරන්න ඕනේ' කියලා, මේ 'උඹලා තමයි අරගල කරන්නේ' කියලා ඇදගෙන ගියා. ඇදගෙන යන ගමනුත් ඉතින් එයාලා ගැහුවා. ගහලා, එතෙන්ට අරගෙන ගිහිල්ලා ඉවරවෙලා ෆෝන් ඔක්කොම අරගෙන රීසෙට් කරන්න කියලා, අපට ගැහුවා. පයින් ගැහුවා, පොලුවලින් ගැහුවා."

"එයාලා බයකරන්න වෙන්න ඇති හදන්න ඇත්තේ. තුවක්කු ඔළුවට තියලා, මිනී මරනවා කියලා, ගොඩක් දේවල් කියලා බයකරන්න වෙන්න ඇති හදන්න ඇත්තේ," රංජක පැවසුවේ ය.

"මට දැනෙන්නෙ මම මගේ රටේ සරණාගතයෙක් වෙලා තියනව කියන එක විතරයි"

ජ්‍යේෂ්ඨ තොරතුරු විශ්ලේෂිකා යශෝධා ප්‍රේමරත්න ජනතා අරගලයට සහාය දැක්වූ දෙදරු මවකි.

"දහවලේ විසිර යනබවට අරගලකරුවන් පොරොන්දු වී තියෙද්දිත්, එදිනම පාන්දර අනපේක්ෂිත ලෙස ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරය දැඩි පිලිකුලෙන් යුතුව හෙළා දකිනවා," ඇය අප හා පැවසුවා ය.

"මේ ක්‍රියාත්මක වෙන්නෙ පැහැදිලිවම රාජ්‍ය ත්‍රස්තවාදය. කිසිදු ප්‍රචණ්ඩකාරී හැසිරීමක් සිදුනොවෙන අරගලභූමියට හමුදාව උසිගන්වලා, නිරායුධ අරගලකරුවන්ට පහරදෙන්න උඹලාට ලැජ්ජාවක් නැද්ද කියලයි මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයෙන් අහන්නෙ. හිරිකිත යි ජනාධිපතිතුමනි, හිරිකිත යි! මෙහෙම ද ඔබතුමා ලංකාවට ජාත්‍යන්තර සහය ගන්න හදන්නෙ?" ඇය ප්‍රශ්නකර සිටියි.

කලක් තිස්සේ අරගල භූමියේ ස්වේච්ඡාවෙන් සේවා සැපයූ, සිය නම හෙළි කරනවාට අකමැති වූ වෛද්‍යවරයෙක් පැවසුවේ මේ නිසා ලංකාවේ මානව හිමිකම් තත්ත්වය මීටත් වඩා බරපතල ලෙස අනතුරට ලක්වීමට ඉඩ ඇතිබව යි.

"නිරායුධ සහ සාමකාමීව කඳවුරු බැඳ සිටි ගාලු මුවදොර උද්ඝෝෂකයින්‍ට, ඔවුන් අතරින් වැඩි දෙනා නිදාසිටින අවස්ථාවේ අති විශාල සන්නද්ධ බලයක් භාවිතා කර එල්ල කරන ලද ප්‍රහාරය නිසා බොහෝ දෙනා තුවාල ලැබුවා. මේ නින්දිත ප්‍රහාරයේ අමානුෂිකම කොටස වන්නේ තුවාලලත් පිරිස රෝහල්ගත කිරීමට සහ ප්‍රථමාධාර ලබා දීමට බාධා ඇති වන පරිදි කටයුතු කිරීමයි. එමෙන්ම රෝහල් ගතකළ තුවාලකරුවන් පිළිබඳ තොරතුරු නිකුත් කීරීමට බාධා කිරීම් සිදුවූබවත්, ඇතැම් වින්දිතයින් වෙනුවෙන් නිසි අධිකරණ වෛද්‍ය ක්‍රියාවලියක් සිදු නොකර රෝහලෙන් මුදා හැරි බවටත් චෝදනා අසන්නට ලැබෙනවා.

"මේ ප්‍රහාරය ගැන දැනටමත් දැඩි අවධානය යොමුකර සිටින ජාත්‍යන්තර ආයතන හෝ මැදිහත් වී සාධාරණ පරීක්ෂණයක් හරහා යුක්තිය ඉටු කිරීමට කටයුතු නොකළහොත්, ලංකාවේ මානව හිමිකම් තත්ත්වය මීටත් වඩා බරපතල ලෙස අනතුරට ලක්වන්නට ඉඩ තිබෙන බව මගේ හැඟීම යි," ඔහු ප්‍රකාශ කළේ ය.

Pussewela post

ඡායාරූප මූලාශ්‍රය, Kasun Pussewela/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, තුවාලකරුවන් රෝහල් වෙත ගෙනයෑමට ඉඩ නොදුන්නේයැ යි රජය වෙත දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් පවතියි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කළිඳු සමරධීර ගාලු මුවදොර නිරායුධ සිවිල් පුරවැසියන්ට එල්ලවූ ප්‍රහාරය දුටුවේ මැයි 9 වැනිදා ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට පහරදීමෙහිම දිගුවක් ලෙස යි.

"රටේ ජනතාව දරුණු අර්බුදේක ඉන්න වෙලාවෙ රනිල් වික්‍රමසිංහ මේ කරමින් ඉන්නෙ රාජපක්ෂලාගෙ කොන්ත්‍රාත්තුවක් මිසක්, මේ රට ගොඩනගන කිසිම වැඩපිළිවෙළක් හෝ උවමනාවක් රනිල්ට නෑ. එහෙම තිබුණා නම් IMF යන්න ඉන්න වෙලාවක මේ වගේ ම්ලේච්ඡ විදියට මිනිස්සුන්ට පහර දෙන්නේ නෑ. IMF කොන්දේසියක් තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා, නීතිය සාමය ස්ථාපිත කරන්න කියන එක. දැන් රනිල්ට රෙද්දක් ඇඳන් ගිහින් 'අපි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරා, නීතිය සාමය තහවුරු කරා' කියලා කියන්න පුළුවන් ද?" ඔහු අසා සිටියේ ය.

"අනික රනිල් වික්‍රමසිංහගේ හමුදාව විසින් ඊයෙ පහර දීලා, අනීතික විදියට අත්අඩංගුවට ගත්තේ අද [ජුලි 22] එතනින් ඉවත්වෙන්න හිටපු නිරායුධ සිවිල් මිනිස්සු, එහෙම පහරදීලා ඒ මිනිස්සු ඉවත් කරන්න කිසිම අවශ්‍යතාවක් එතන තිබුණෙ නෑ," සමරධීර ප්‍රකාශ කළේ ය.

"අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රටේ හමුදාව සහ පොලීසියට, ඔබලාගේ වගකීම වෙන්නෙ රාජ්‍යයේ ආරක්ෂාව මිසක් ආණ්ඩු ආරක්ෂා කිරීම නෙවේ. රාජ්‍යයට මේ රටේ සිවිල් පුරවැසියොත් අයිති වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ඉහළ ඕඩර්ස්වලට අනුව ඔය තුවක්කුව, බැටන් පොල්ල සිවිල් පුරවැසියො දිහාවට එල්ල කරන්න කලින් දෙපාරක් හිතන්න. මොකද ආණ්ඩු සැරෙන් සැරේ මාරු වුණාට රාජ්‍යය වෙනස් වෙන්නෙ නෑ."

මෑතක දී ලංකාවට පැමිණ අරගලයට සහභාගී වූ, එක්සත් රාජධානියේ වෙසෙන හිමේෂා වීරසිරි, මෙම සිද්ධියට අනුබල දුන්නන්ට සහ සහභාගීවූවන්ට නියමිත දඬුවම් පැමිණවිය යුතුයැ යි කියා සිටින්නී ය.

"ජූලි 22 තමන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉවත් වෙනවා කියලා අරගලකරුවො දැනුම් දීලා තිබියදීත්, මැදියම් රෑ ඇවිත්, පිටින් කිසිවෙකුට ඇතුළුවෙන්න නොහැකිවෙන සේ පාරවල් වහලා, මාධ්‍යවේදීන්ට, ආබාධිත අයවලුන්ට කෘර ලෙස පහර දීලා ගෝඨා ගෝ ගම විනාශ කිරීම, දැඩි ලෙස මානව හිමිකම් කඩකිරීමක්," ඇය ප්‍රකාශ කළා ය.

පුද්ගලික සමාගමක ශ්‍රී ලංකා කළමණාකාරිනිය වන හිමානි නවින්දිකා ගෝඨා ගෝ ගම පිහිටවණු ලැබූ දා පටන්ම නිතර එහි උද්ඝෝෂණවලට සහභාගී වූ තැනැත්තියකි.

රජය විසින් සාමකාමී විරෝධතාකරුවන් හා මාධ්‍යවේදීන් වෙත එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ඇය පැවසුවේ මෙවැන්නකි: "අද ගෝල්ෆේස් අරගලකරුවන්ට සිදුකළ ප්‍රහාරය දැක්කම මට දැනුනෙ වත්මන් ජනාධිපති, වත්මන් රජය හෝ වත්මන් පාර්ලිමේන්තුව මා හෝ මගේ මානුෂික මූලික අවශ්‍යතාවයන් නියෝජනය කරන්නෙ නෑ කියන දේ. ඔවුන් මා බලාගැනීමට අසමත් කියන දේ. ඒ වගේම මගේ රටේ මගේ බදු මුදලින් නඩත්තු වන හමුදාව, පොලිසිය නිරායුධ මා ආරක්ෂා කරන්නෙ නෑ කියන දේ."

"මට දැනෙන්නෙ මම මගේ රටේ සරණාගතයෙක් වෙලා තියනව කියන එක විතරයි. මෙහෙම අසරණ හැඟීමක් මට මගේ රටේ කවදාවත් දැනිල නෑ," නවින්දිකා BBC සිංහල සේවය හා පවසා සිටියා ය.

මේ සම්බන්ධ ප්‍රතිචාර සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයෙන් ප්‍රකාශවෙමින් පවතියි. ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත්කිරීමට ක්‍රියාකිරීම නීත්‍යනුකූල බවද එක මතයකි.

Mahinda Pathirana post

ඡායාරූප මූලාශ්‍රය, Mahinda Pathirana/Facebook