ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට ඇතුළුවෙයි

පෞද්ගලික සංචාරයක් සඳහා ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බවට එරට විදේශ කටයුතු අමාත්‍යංශය බීබීසීයට තහවුරු කරයි.

සිංගප්පුරුවේ විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක පැවසුවේ "පෞද්ගලික සංචාරයක් සඳහා රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇත. ඔහු සරණාගතභාවය ඉල්ලා නොමැති අතර ඔහුට කිසිදු රැකවරණයක් ලබා දී නොමැත. සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් ලබා නොදේ." යනුවෙනි

හමුදා ගුවන් යානයකින් මාලදිවයින බලා 13 වැනිදා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද මාලදිවයිනේ මාලේ අගනුවර සිට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ඒ , මාලදිවයිනේ වේලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට සිංගප්පූරුව බලා අද උදෑසන පිටත් වූ සෞදි අරාබි ගුවන් සේවයට අයත් SV788 දරන යානයෙනි.

ජනාධිපතිවරයා සමඟ බිරිඳ හා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාද සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන බවට බීබීසී සිංහල සේවයට මාලදිවයිනේ බලධාරියකු පැවසීය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ දක්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාරදී නොමැති අතර සිංගප්පූරුව වෙත පැමිණීමෙන් පසු ඔහුගේ ඉල්ලා අස්වීම භාර දීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන අනාවරණය කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබී නැති බවයි.

ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය ලබා නොදෙන්නේ නම්, ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයා බලන බව ඔහු පැවසීය.

තමා ජූලි 13 ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ කථානායකවරයාට ද, වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහට ද මීට පෙර පොරොන්දුවී තිබුණි.

කථානායකවරයා ඊයේ දිනයේ ද ප්‍රකාශ කළේ දුරකතනයෙන් තමා ඇමතූ ජනපතිවරයා ජූලි 13 වැනිදා ධුරයෙන් ඉවත්වන්නේයැ යි තමාට දැනුම්දුන් බව යි.

එමෙන්ම ඉල්ලා අස්වීමේ ලිපිය ද ඊයේ දිනය තුළම තමා වෙත ලැබීමට සලස්වන බව ඔහු පැවසුවේයැ යි කථානායකවරයා ප්‍රකාශ කළේ ය.

ජනතා විරෝධය හමුවේ ඊයේ (ජුලි 13) අලුයම ගුවන් හමුදා යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර බලා පිටත්ව ගිය ජනපති ගෝඨාභය රාපක්ෂ අද උදෑසන එරටින් පිටවන තුරු නිකේතනයක රැඳීසිටි බවට වාර්තා විය. ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගියේ සිය බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමග ය.

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලා ජූලි 13 වැනිදා මාලේ අගනුවර විරෝධතා ද පැවැත්විණ.

ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් පැය 23:55ට සිංගප්පූරුව බලා පියාසර කිරීමට නියමිතව තිබූ සිංගප්පූරු ගුවන් සේවයේ යානයෙන් ගමන් ගැනීමට නොහැකි බව දැන්වූ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට පියාසර කිරීමට පෞද්ගලික ජෙට් යානයක් සූදානම් කරන ලෙස ඉල්ලා ඇති බව ද ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේ ය. ඒ, සිවිල් මඟීන්ගෙන් එල්ලවිය හැකි විරෝධය හේතුවෙනි.

ජනාධිපතිවරයා මෙතෙක් ධුරයෙන් ඉල්ලා අස්වී නැතත්, මේ වන විට වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයක් තුළින් නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සඳහා ජූලි 19 වැනිදා නාම යෝජනා කැඳවීමට නියමිත ය. ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයක් තුළින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවෙන් පලා යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම කල් දමන්නේ ඇයි?

ගෝඨාභය රාජපක්ෂ ආරක්‍ෂිත ස්ථානයකට යනතුරු ඉල්ලා අස්වන්නේ නැත. හිටපු එක්සත් ජනපද ජාතිකයෙකු වූ රාජපක්ෂ 2019 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඔහුගේ එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරියේය.

යමෙක් එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමෙන් පසු එක්සත් ජනපදයට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් ලබා ගැනීම අතිශයින් දුෂ්කර ය.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස රාජපක්ෂ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය භුක්ති විඳින අතර ඔහු ඉල්ලා අස්වන තුරු රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරනු ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂිත ස්‌ථානයකට පැමිණීම සඳහා රාජ්‍ය නායකයා ලෙස තම තත්ත්වය භාවිත කරමින් සිටී.

අරගලකරුවන් ග්‍රහණයටගෙන ඇති රාජ්‍ය ආයතන භාරදෙයි

මේ වන විට අරගලකරුවන් සිය විරෝධතාව දැඩිකර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ද ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඔවුහු අවධාරණය කරති. ඔවුන් පවසුවේ ඔවුන්ගේ අරගලය මේ වන විට ජයග්‍රහණය කර ඇති බවයි.

එම නිසා මේ වන විට සිය ග්‍රහණයට ගෙන ඇති ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්ධිරය මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය නැවත භාරදීමට තමන්කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තුව අසල ද ඔවුන් විරෝධතාවයේ නිරතවූ අතර පොල්දූව මංසන්ධියේ ඊයේ රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇතිවිය.

ජූලි 13 වැනිදා කොළඹ විවිධ ස්ථානවල ඇතිවූ සිදුවීම්වලින් තුවාල ලැබූ 84 දෙනෙකු ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. ඉන් 79 දෙනෙකු පිරිමින් වන අතර 5 දෙනෙකු කාන්තාවන් ය.

එක් විරෝධතාකරුවකු මේ වන විට මිය ගොස් ඇත ඒ කඳුළුගෑස් ප්‍රහාරයක් හමුවේ හුස්මගැනීමට අපහසුවීම හේතුවෙනි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අවධානය

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සමීපව නීරීක්ෂණය කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් පැවසීය.

"ගැටුමේ මූල හේතු සහ විරෝධතාකරුවන්ගේ දුක්ගැනවිලි" ආමන්ත්‍රණය කිරීම වැදගත් බව පවසන ඔහු සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් සඳහා කතිකාවතක් අරඹන්නැ යි සියලුම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ප්‍රකාශ කළේ ය.