නවතම තත්ත්වය:අගමැති කාර්යාලය අරගලකරුවන් අතට,ජාතික රූපවාහිනීයේ සිදුවුයේ කුමක්ද?

අද (ජුලි 13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ දිනය යි. කෙසේ වෙතත් ජනපතිවරයා මේ වන විට රටින් පිටවගොස් තිබේ.

අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කර ගනී

මේවන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් කොළඹ මල්පාරේ විරෝධතාවයේ නිරත පිරිස් අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයට ඇතුලු වී තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූ පිරිස මේ වන එය තම බාරයට ගෙන ඇත.

පරිශ්‍රයේ ගේට්ටුවෙන් පිටත සන්නද්ධ භටයින් සමග පැය ගණනක් ගැටීමෙන් පසු බොහෝදෙනෙක් ජයග්‍රහණයේ ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් කාර්යයාලයේ බැල්කනිවලට නැගී සිටිති.

මෙයට පෙර කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය, බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි කතානායකවරයාගේ නිළ නිවස, ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයන් පැවැත්වෙන අතර මේ වන විට පොලිසිය කිහිප විටක් කඳුළු ගෑස් හා අධිපීඩක ජල ප්‍රහාර එල්ල කළේය.

ජාතික රූපවාහිනී පරිශ්‍රයේ සිදුවුයේ කුමක්ද?

අරගලකරුවන් විශාල පිරිසක් ජාතික රූපවාහිනිය ඉදිරිපිට රැස්ව සිටින අතරතුර ජාතික රූපවාහිනිය විසින් ජාතික ගීය විකාශය කිරීමෙන් අනතුරුව සිය විකාශන කටයුතු අත්හිටුවීමට පියවර ගත්තේය.

මෙය අරගලකරුවන් රුපවාහිනී සංස්ථා පරිශ්‍රයට ඇතුළුවීම හේතුවෙන් එම ආයතනයේ ඉංජිනේරුවන් විසින් සිදුකෙරුණක්බව ප්‍රකාශ වේ. මේ අතර ස්වාධින රූපවාහිනී සේවයද මේ මොහොතේ තම විකාශන කටයුතු අත්හිටුවා ඇත.

මෙසේ ජාතික රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූ විරෝධතාකරුවන් පිරිසක් ජාතික රූපවාහිනියේ ආලින්දයේදී රූපවාහිනි නියෝජිතයන් හමුවන අවස්ථාවේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය වෙත නිකුත් විය. කෙසේ වෙතත් ජාතික රූපවහිනිය එසේ පැමිණි නියෝජිතයින් සමඟ සජීව සාකච්ඡාවක් පසුව විකාශය කළේය.

මේ වන විට තත්ත්වය සැකෙවින්:

  • ජනපතිවරයා අලුයමට පෙර ගුවන් හමුදා ජෙට් යානාවකින් අසල්වැසි මාලදිවයින් කරා පළාගිය අතර මේ වන තෙක් ඔහුගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත
  • දශක කිහිපයකින් දිවයින මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ නැගී ආ මහජන විරෝධතා හමුවේ තමා ජුලි 13 දා ඉල්ලා අස්වනබවට ඔහු ප්‍රතිඥා දී තිබුණි
  • අගනුවර සහ වෙනත් ප්‍රදේශවල විරෝධතා උත්සන්නවීමත් සමග වැඩ බලන ජනපතිවරයා ජාතික හදිසි තත්ත්වයක් සහ බස්නාහිර පළාතට බලපැවැත්වෙන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළේ ය
  • ජනපතිධුරයේ රාජකාරී ආවරණය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පත්කළබවට තමාට දැනුම් දී ඇතැ යි කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේ ය
  • බොහෝ විරෝධතාකරුවන් රනිල් වික්‍රමසිංහ ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් නොසතුටු ය - විරෝධතාවන්හි දී නායකයින් දෙදෙනාටම ඉල්ලා අස්වන ලෙස බලකරනු ලැබිණ
  • විශාල අරගලකරුවන් සංඛ්‍යාවක් අගමැති කාර්යයාලය ඉදිරියේ රැස්ව සිටියි. මේ වන විට ඔවුන් කාර්යයාලයේ ගේට්ටු බිඳදමා ඇති අතර යුද හමුදා සෙබළුන් රැසක් අරගලකරුවන් එහි ඇතුළුවීමෙන් වළකාගෙන සිටිය ද මේ වන විට අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කරගෙන ඇත
  • හමුදාව විරෝධතාකරුවන්ට වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ප්‍රදේශයම කඳුළු ගෑස් ධූමයෙන් වැසීගොස් තිබේ
  • රටින් බැහැරව සිටින ගෝඨාභය රාජපක්ෂ තමා අමතා, සෙනසුරාදා පොරොන්දුවූ පරිදිම අද දිනයේ දී (ජුලි 13) ඉල්ලා අස්වනබවට පැවසූබව ද, ඒ සම්බන්ධ නිල ලිපිය අද නිකුත් කිරීමට කටයුතු කරනබව ද කථානායකවරයා මේ දැන් නිවේදනය කළේ ය
  • වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීමට නොහැකිබව පවසයි. ෆැසිස්ට් දේශපාලන මතවාද රට තුළ පැතිරීමට ඉඩ හැරිය නොහැකියැ යි ප්‍රකාශ කළ ඔහු රටේ සාමාන්‍ය තත්ත්වය ඇතිකිරීම සඳහා හමුදාවට සියලු බලතල ලබාදී ඇතිබව ද, හමුදා ප්‍රධානීන්ගේ සහ පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොර කමිටුවක් පත්කර ඇතිබව ද කියා සිටියි
  • අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම "රාජපක්ෂ-පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදයක්" බව ද, "විගඩමක්" සහ "ඛේදවාචකයකැ"යි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි
  • ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිවිධ හමුදාපතීන් සහ පොලිස්පති මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, "ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මේ දක්වා කටයුතුකර තිබෙන්නේ පවතින ව්‍යවස්ථාව අනුවයැ"යි පවසමින්, මීළඟ ජනපති පත්වන තුරු රටේ සාමය ආරක්ෂාකර ගැනීමට සහායවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය
  • ගෝඨාභය රාජපක්ෂ දැන් තෙවන රටකට ගමන් කරමින් සිටිනාබව විශ්වාස කෙරේ. ඔහු යන්නේ කුමන රටටදැ යි යන්න තවමත් පැහැදිලි නැතත්, එය සිංගප්පූරුව හෝ ඩුබායි විය හැකිබවට කටකතා පවතියි
  • ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය, ජනතාව වන විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය යුතුබවට කරන ඉල්ලීම් සාධාරණ හෙයින් තම පක්ෂය ඔවුන් සමග නැගී සිටිනබව ප්‍රකාශ කළා ය
  • පළා යන ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම නවතන ලෙස මාලදිවයින් රජයට බලකරමින් මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය
  • ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයෙකු නම් කරන ලෙස පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් ඉල්ලූබව ඔහුගේ මාධ්‍ය කණ්ඩායම ප්‍රකාශ කරයි