"එයාලා 13 (අද) නොගියොත් අපි දැවැන්ත විරෝධයකට සුදානම්"-විරෝධතාකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

ජනාධිපතිවරයා අද අළුයම රටින් පිටව ගොස් ඇතිබව වාර්තාවිය. දැන් ජනතාව පසුවන්නේ ඊළඟට සිදුවන්නේ කුමක්ද යන දෙගිඩියාවෙනි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දන්වා ඇති පරිදි (ලිඛිතව නොවේ) අද බදාදා (13) ධූර වලින් ඉවත් නොවුණහොත් භයානක, දැවැන්ත වැඩවර්ජනයක් සහ දැවැන්ත පෙළපාලි පවත්වන බවට විරෝධතා සංවිධායකයින් සහ වෘත්තීය සමිති නායකයින් ඊයේ අනතුරු ඇඟවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරය අරගල කරුවන් අත්පත් කරගැනීමත් සමඟ ඉල්ලා අස්වීමට පොරොන්දු වූ නමුත් බොහෝ දෙනා තවමත් කනස්සල්ලට පත්ව සිටින්නේ ඔහු තම පොරොන්දුව ඉටු නොකරනු ඇද්දැයි සිතමිනි.

කෝපයට පත් මහජනතාව දශක ගණනාවකට පසුව ඇතිව තිබෙන මෙම දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ඔහුට සෘජුවම දොස් පවරමින් තිබේ.

රාජපක්ෂගේ නික්ම යාමෙන් පසු, සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවූ පසු, තමා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

එහෙත් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වන්නේ ඔහු ද වහාම තම ධුරයෙන් පිටව යනු දැකීමටය. මන්ද, රාජපක්ෂ ඉවත්ව ගිය පසු ශ්‍රී ලංකා ව්‍යවස්ථාව යටතේ වික්‍රමසිංහ ස්වයංක්‍රීයව දින 30කට වැඩබලන ජනාධිපති බවට පත් වනු ඇති නිසාය.

"එයාලා [ජූලි] 13 නොගියොත් අපි වෙනත් වටයකින් විරෝධතා නැවත ආරම්භ කරනවා," අරගලකරුවන් වෙනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා බීබීසීයට පැවසීය.

"එහෙම වුනොත් වෘත්තීය සංගම් සහ බහුජන සංවිධාන 14 වනදා ඉදලා විරෝධතා වලට සමගාමීව දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරනවා." පියතුමාගේ ප්‍රකාශය වෘත්තීය සමිති නායකයෙක් ද තහවුරු කළේය.

"ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතාව ගොනාට අන්දන්න හැදුවොත්, අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා, ඒවා පසුගිය සෙනසුරාදා කොළඹදී පැවැත්වුණු දැවැන්ත ජන ව්රෝධයන්ට වඩා භයානක වෙන්න පුළුවන්" අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අනතුරු ඇඟවීය.

දශක දෙකකට ආසන්න කාලයක් දිවයිනේ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ රාජපක්ෂවරුන්ට පලා යාමට බල කරමින් දහස් ගණනක් ජනාධිපති මන්දිරයට රොක් වී සිටින අතර අද අළුයම වන විට ජනාධිපතිවරයා මෙරටින් පිටව ගිය බව වර්තා විය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ නික්මයාම පිළිබඳ ඊයේ සවස වන විට දිග්ගැසෙමින් පැවති අවිනිශ්චිතභාවය මධ්‍යයේ, අරගල සංවිධායකයින්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සමඟ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදී ඔවුන් ඉල්ලීම් ලැයිස්තුවක් ඉදිරිපත් කළේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනා මෙන්ම, ආණ්ඩුවේ සිටින සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බවට කෙරෙන ඉල්ලීම්වලට අමතරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත්, කඩිනම් ආර්ථික සහන සහ රජයට උපදෙස් දීමට මහජන සභාවක් පත් කරන ලෙසත් ඔවුහු එහිදී ඉල්ලා සිටියහ.

දූෂණයෙන් වැසී බිඳ වැටී ගිය බවට බොහෝ දෙනා විශ්වාස කරන රටේ භාණ්ඩාගාරය නැවත ශක්තිමත් කිරීමට ද ඔවුන්ට අවශ්‍ය ය. එහෙත් මෙය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

එහි පැමිණ සිටි පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජිතයන් විරෝධතාකරුවන්ගේ කරුණුවලට තමන් එකඟ වූ බව පැවසූ අතර, එක් නීති සම්පාදකයෙකු තම අධීක්ෂණය යටතේ රට ආර්ථික අර්බුදයකට යාමට ඉඩහැරීම ගැන කණගාටු වන බව ප්‍රකාශ කළේය.

"මගේ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම කියන්නේ, අපි සමාව අයදින්න ඕන. තත්වය නිවැරදි කරන්න ඕන. අපි ජනතාවට වග කියන්න ඕන," පිරිසෙහි අත්පොළොසන් මැද ඔහු පැවසීය.

එහෙත් රටට ස්ථාවරත්වයක් අවශ්‍ය බැවින් විරෝධතා දින නියමයක් නොමැතිව දිගින් දිගටම පවත්වාගෙන යා නොහැකි බවටද ඇතැමුන් අනතුරු ඇඟවීය.

"ඊළඟට කවුරු බලයට ආවත් අරගලය ඒක පිළිගන්න ඕනේ. දිගටම උද්ඝෝෂණ කරන්න බැහැ" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් නියෝජිතයෙක් පැවසීය.

අරගලයට මීළඟ ක්‍රියාදාමය කුමක්දැයි යන්නත් තවමත් නිශ්චිත නැත.

අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන්ම ආරම්භ වූ එය මෙහෙයවනු ලැබුවේ සාමාන්‍ය මහජනතාව සහ එකතුවෙමින් වෘත්තීය සංගම්, ගොවීන්ගේ සිට කලාකරුවන් දක්වා නිදහස් වෘත්තිකයන්ද , ශිෂ්‍යයන්, සමාජවාදී පක්ෂ කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් විසිනි.

ඒ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ එම පවුලේ අනෙකුත් රාජපක්ෂවරුන් ඉවත් කිරීම සඳහා වූ එකම අරමුණක් සඳහා ය. එම ලැයිස්තුවෙන් අද වන විට නිල වශයෙන් තවමත් ධූරයේ රැඳී සිටින්නේ ජනාධිපතිවරයා පමණි.

එහෙත් අරගලයේ බහුවිධ නායකත්ව ප්‍රබලත්වය ද දුර්වලතාවයක් බවට ඔප්පු වෙමින් ඇත. එය බොහෝ කොටම තනි නායකත්වයකින් තොර අතර, ජනතාව අතරින් මතුවුණු එවන් ආකර්ෂණීය චරිතයක් ද මෙතෙක් බිහිවී නොමැත.

අරගලයේ දිශානතිය සම්බන්ධයෙන් යම් යම් මතගැටුම් ඇති වී ඇති අතර සමාජවාදී කණ්ඩායම් දෙකක් අතර ඇති වූ එක් ආරවුලක් නිසා සඳුදා රාත්‍රියේ කිහිප දෙනෙකු තුවාල ලැබූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණි.

ගෝඨාභය ඉවත්ව ගිය පසු අරගල භුමීය තුළින් රටේ නායකත්වය සඳහා තරගකරුවෙකු ඉදිරිපත් කළ නොහැකි බව ද එයින් පිළිඹිබු වී තිබේ. එසේම දේශපාලනඥයන් පිළිබඳ මහජන සැකය නිසා පාර්ලිමේන්තුවේ දැනට සිටින නියෝජිතයින්ගෙන් ජනතාවගේ කැමැත්ත දිනා ගත් අයෙක්ද නොමැත.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස ජනපති තනතුර සඳහා ඉදිරිපත් වුවද, ඇතැමුන් ඔහු දේශපාලන වශයෙන් පළපුරුද්දක් නොමැති සහ අකාර්යක්ෂම පුද්ගලයකු ලෙස සලකනු ලබන අතර ඔහු තවමත් ප‍්‍රබල මහජන සහයෝගය ලබාගෙන නොමැත.

එහෙත් අඟහරුවාදා බීබීසී සමඟ කතා කළ විරෝධතා සංවිධායකයින් කියා සිටියේ අරගලය අනාගත ඕනෑම රජයකට බලපෑම් කරනු ඇති බවත්, පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැකි බව තමන්ට විශ්වාස බවත්ය.

"ජන බලය එක්ක ඒක කරන්න පුළුවන්"

"ජාත්‍යන්තර ප්‍රජාව සහ ශ්‍රී ලංකා ඩයස්පෝරාව උදව් කරන්න සූදානම්. ජනතාව එකමුතුව කැපකිරීම් කරන්න සූදානම්.ජනබලය සමඟ අපට දැන් හොඳ අවස්ථාවක් උදා වෙලා තිබෙනවා"

ජීවන්ත පියතුමා වැඩිදුරටත් සඳහන් කළේය.