කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ඉවත්කළේ විශ්වවිද්‍යාල සිසුන්ව ඇප මත මුදා හැරි නිසාද?

Policemen stand guard outside the Sri Lanka's President Gotabaya Rajapaksa office in Colombo on May 7, 2022. - Sri Lanka's president on May 6 declared a state of emergency for the second time in five weeks, giving security forces sweeping powers amid a nationwide strike by angry demonstrators who blame him for an unprecedented economic crisis.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිය දී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් විශ්වවිද්‍යාල සිසුසිසුවියන් 13 දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර විසින් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇයට ලබාදී තිබූ පොලිස් ආරක්‍ෂාව ඉවත්කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ වදාළා සිටියෝ ය: "පාර්ලිමේන්තුව අසල සාමකාමී උද්ඝෝෂණයක නියැළුණු ශිෂ්‍ය පිරිස අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය මේ සියලුදෙනාට ඇප පිට නිදහස ලබාදීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරියට බලවත් තර්ජනයකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ තර්ජනය තමා එතුමියගේ නිල නිවාසයට සපයා තිබූ සියලුම ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම. ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම මඟින් මහේස්ත්‍රාත්වරියගේ ජීවිත පැවැත්මට තර්ජනයක් එල්ල වෙනවා. කිසිම සැකයක් නැහැ."

"තලංගම පොලීසියේ OIC තමා මේ ආරක්ෂක අංශ ඉවත් කරලා තියෙන්නේ. අපි අහනවා මේ අධිකරණයට කරන අපහාසය, අධිකරණයේ ස්වාධීනත්වට කරන අභියෝගය තලංගම පොලීසියේ OIC මහත්තයා හරහා ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වුණේ කවුද?" උන්වහන්සේ මෙහිදී විමසා සිටියෝ ය.

මේ අතර පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යවමින් අධිකරණ සේවා සංගමය චෝදනා කළේ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ මඟින් අධිකරණ විනිශ්චයකාරවරුන්ට ආරක්ෂාව සැපයීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියම කර තිබිය දී, එකී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියාකාර ඇති බව යි.

ඒ අනුව තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙස ද අධිකරණ සේවා සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාට කළ දැනුම්දීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරියගෙන් ඉවත් කළ පොලිස් ආරක්‍ෂාව යළි සැපයීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

කඩුවෙල මහේස්ත්‍රාත්වරියට පොලිස් ආරක්‍ෂාව සපයා තිබුණේ තලංගම පොලිසිය යි.

පොලීසියෙන් පැහැදිලි කිරීමක්: රාජකාරී පැහැරහැරි පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතින අතර, මේ සම්බන්ධව යම් සංවිධාන මඟින් ද පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණු බව ය.

Condemning the removal of security detail for Kaduwela Magistrate

ඡායාරූප මූලාශ්‍රය, JSASL

ඒ පිළිබඳ සොයාබලා වාර්තා කරන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත වෙත පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ නිවසේ ආරක්ෂාවටත්, එතුමියගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කිරීමටත්, එතුමිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි දිනයේ සිටම පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කර තිබූ බවත් පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ ය.

අධිකරණයේ ආරක්ෂාව ද පොලිසිය විසින් නොකඩවා ලබා දී ඇත.

2022 මැයි 05 වැනිදා විනිසුරුවරිය නඩු කටයුතු සඳහා නිවසින් බැහැරට ගොස් ඇති අතර, අදාල පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටින බවට හැඟවෙන ලෙස කටයුතු කර ඇතැ යි පොලිස් මූලස්ථානය පැවසීය. එදින රාත්‍රී රාජකාරි නිලධාරියා සාමාන්‍ය පරිදි නිවසේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.

එසේ වුව ද ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණයේ දුර්වලතා හඳුනාගැනීමටත් රාජකාරි නිලධාරියාගේ රාජකාරිය පැහැර හැරීම පිළිබඳව සොයා බැලීමටත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් පොලිස්පති වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පති උපදෙස් දී තිබේ.

රාජකාරි පැහැරහැරීම සම්බන්ධව අදාළ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට වැඩ තහනමට ලක්කර ඇතැ යි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

එසේම අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් නිකුත්කර ඇති චක්‍රලේඛ නැවත සලකා බලා පරිපාලනමය ගැටළු ඇති නොවන ආකාරයට කාලීන සංශෝධන තිබේ නම් ඒ පිළිබඳ නිර්දේශ යොමුකරන ලෙස දක්වා, පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සයදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැ යි පොලිස් මූලස්ථානය පැවසීය.

විනිශ්චයකාරවරුන්ගේ මෙන්ම අධිකරණවල ආරක්ෂාව ඉවත් කිරීමට හෝ යම් අඩු කිරීමක් කිරීමට හෝ අදාළව කිසිදු උපදෙසක් පොලිස් මූලස්ථානය මඟින් ලබාදී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව අවධාරණය කළේ ය.

අදාළ පොලිස් කොස්තාපල්වරයාට හා පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.