ඉන්ධන මිළ ඉහළ යෑමට එරෙහිව උද්ඝෝෂණය කළ විරෝධතාකරුවන්ට පොලීසියෙන් වෙඩි තබයි, එක් අයෙකු මරමුවට පත්වෙයි

ඡායාරූප මූලාශ්‍රය, SaMudhItha SaMadhI/Facebook
රඹුක්කන නගරයේ අද පැය 15කට අධික කාලයක් පැවති විරෝධතාවය විසුරුවාහැරීමට පොලිසිය වෙඩි තැබූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව බීබීසී සිංහල සේවයට පැවසීය මේ අතර කෑගල්ල රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එක් තුවාලකරුවකු ජිවිතක්ෂයට පත්වූ බවයි.
රඹුක්කන විරෝධතාවයේදී වෙඩි වැදීම් තුවාල ලැබු පුද්ගලයෙකු මිය ගොස් තුවාල ලැබු තවත් සාමාන්‍ය මිනිසුන් 11 දෙනෙකු හා පොලීසියේ 10 දෙනෙකු කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරිය සදහන් කළාය. තුවාල ලැබු දෙදෙනෙකු මේ වන විට සැත්කම්වලට ලක්කරමින් ඇතැයි ඇය සඳහන් කළාය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පැනවූ බවයි.
ඉන්ධන මිල ඉහළ දැමීමට සහ ඉන්ධන හිඟයට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක අද (අප්‍රේල් 19) විරෝධතා පැවැත්වුණි. ඒ රඹුක්කන, හිඟුරක්ගොඩ, බද්දේගම, දිගන, ගම්පොළ, රත්නපුර, සහ තෙල්දෙණිය යන ප්‍රදේශවලයි.
රඹුක්කන නගරයෙන් දුම්රිය මාර්ගය අවහිර කිරීම නිසා එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් ද ඇතිවිය.
ඊට අමතරව රඹුක්කන නගරයේ කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන රැසක් ද මෙම විරෝධතාවන්ට සහාය පළකරමින් වසා දමා තිබේ.
රඹුක්කන දී පොලීසිය විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කළේ ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විරෝධතාකරුවන් දොළොස්දෙනෙකු රෝහල්ගත කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ රඹුක්කන දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ විරෝධතාවේ නිරත පිරිස විසුරුවා හැරීමට වෙඩි තැබූ බව යි.
විරෝධතාකරුවන් වෙත කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ ඔවුන් පොලිස් නිලධාරීන්ට පෙරලා ගල්මුල් ප්‍රහාර එල්ලකළ බවත්, එවිට පොලිසිය ඔවුන්ට වෙඩි තැබූ බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
විරෝධතාකරුවන්ගෙන් පහර කා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ද රෝහල්ගත කර ඇතැ යි ඔහු ප්‍රකාශ කළේ ය.

ඇමරිකාව රඹුක්කන වෙඩිතැබීම හෙළාදකියි
"රඹුක්කන ප්‍රදේශයෙන් ඇසෙන බිහිසුණු පුවත ගැන මම බලවත් ශෝකයට පත් වෙමි. විරෝධතාකරුවන්ට හෝ පොලිසියට එරෙහි ඕනෑම ප්‍රචණ්ඩත්වය මම හෙළා දකින අතර සෑම පැත්තකින්ම සංයමයෙන් සහ සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටිමි. පූර්ණ විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් අත්‍යවශ්‍ය වන අතර සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවගේ අයිතිය තහවුරු කළ යුතුය," යනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසිය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි
රඹුක්කන ප්‍රදේශයේ අද සවස සිදු වූ සිද්ධියෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කම්පනයට සහ කණගාටුවට පත් වඇති බවට එම සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, විරෝධතාකරුවන්ගේ සැබෑ දුක්ගැනවිලි සැලකිල්ලට ගනිමින් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඉතා සංයමයකින් ක්‍රියා කරන බවට රජය සහතික විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
"2022 ජනවාරි මස තරම් ඈත කාලයකදී අප විසින් කරන ලද පූර්ව අනතුරු ඇඟවීම් බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම ගැන අපි කනගාටු වෙමු," ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසීය.
"මේ රටේ ජනතාවගේ අයිතීන් සුරැකීමට අපේ සාමාජිකයන් උපරිමයෙන් කටයුතු කරන බවද නීතිඥ සංගමය සඳහන් කළේය."
මේ අතර මාතර, ගාල්ල, අලුත්ගම, පානදුර, අවිස්සාවේල්ල, සහ මාවතගම ප්‍රදේශවල ද මාර්ග අවහිර කර මහජනතාව විරෝධතාවයන්හි නිරතවී ඇත.
මීට අමතරව, අනුරාධපුර නව බස් නැවතුම්පොළ ඉදිරිපිට සිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ද ජනතාව අනුරාධපුර නගරයේ විරෝධතාවයක නිරතව සිටියි. ගාල්ල හා මාතර නගරයේ ද මෙවැනි විරෝධතාවක් පැවැත්වේ.
ඉන්ධන මිල ඉහළට
ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ලංකා පෙට්‍රල් ලීටරයක් රුපියල් 84කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 338කි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 90කින් ඉහළ දමා ඇති ඔක්ටේන් 95 වර්ගයේ ලංකා පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 373ක් වනු ඇති.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 113කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 289ක් වේ. රුපියල් 75කින් ඉහළ දැමූ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329කි.

ඡායාරූප මූලාශ්‍රය, SaMudhItha SaMadhI/Facebook
ලංකා IOC සමාගම ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ අතර මාස 5 ක් තුළ අවස්ථා හයක දී ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
නව මිල ඉහළ දැමීමත් සමග ලංකා IOC සමාගමේ ඉන්ධන මිල ගණන්:
- පෙට්‍රල් 92 (ඔක්ටේන්) ලීටරයක් - රුපියල් 338
- ඔක්ටේන් 95 - රුපියල් 367
- පෙට්‍රල් යුරෝ 3 - රුපියල් 347
- ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289
- සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327
ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය පිළිබඳ පැහැදිලි කරමින් ලංකා IOC සමාගම සඳහන් කළේ 2022 මාර්තු 7 වැනි දින සිට පසුගිය මාසයක කාලය තුළ රුපියල 60%කට වඩා අවප්‍රමාණය වී ඇති බව යි.
2022 මාර්තු 7 වන දින සිට ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය පාවෙන්නට හැරි අතර, අනතුරුව ඩොලරයට සාපේක්ෂව රුපියල නිරන්තරයෙන් අවප්‍රමාණය වෙමින් පැවතුනි. මෙනිසා ඩොලරයක මිල රුපියල් 203 මට්ටමේ සිට රුපියල් 330 දක්වා ළඟා වූ බව ලංකා IOC සමාගම පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ඉන්ධන ආනයනය බෙහෙවින් මිල අධික වී ඇති බවත්, රටෙහි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විදේශ විනිමය ගලා ඒමේ විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර නිල මිලට වඩා වැඩි මිලට පවා විදේශ මුදල් මාරු කිරීමට අපනයනකරුවන් ඉදිරිපත් නොවන බවත් සමාගම සඳහන් කළේ ය.
සමාගම පෙන්වා දෙන්නේ චීනයේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීම සහ තෙල් සංචිත මුදා හැරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සූදානම් වීම මධ්‍යයේ පසුගිය සතියක සිට ජාත්‍යන්තර ඉන්ධන මිල ගණන් ස්ථාවරව පැවතුන ද, රුපියල අවප්‍රමාණය වීම නිසා ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව යි.
ලංකා IOC අවසන් වරට පෙට්‍රල් මිල පමණක් සංශෝධනය කරනු ලැබුවේ මාර්තු 26 දින ය. එවිට ඩොලරයක අගය රුපියල් 300ක් ලෙස පැවතිණ. මේ වන විට රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර මහ බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 330ක් වන නමුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට රුපියල් 345ක මිලට පවා අමෙරිකානු ඩොලර් ලබා දීමට හැකියාවක් නැතැ යි ලංකා IOC සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
අද මිළ වැඩිවන භාණ්ඩ හා සේවා
අද (අප්‍රේල් 19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35%කින් ඉහළ නැංවීමට අවසර හිමිවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 27ක් වනු ඇති.
කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, සහ බත් පාර්සලවල මිළ 20%කින් ඉහළගොස් ඇත.
තිරිඟු පිටි මිළ රු. 40කින් ඉහළ ගිය අතර, පාන් ගෙඩියක මිළ රු. 30කින් ඉහළ දමා තිබේ.









