Made in Sri Lanka - කොවිඩ් සහ ඔන්ලයින් අධ්‍යාපනය: මුණුබුරා, සීයා සමග එක්ව සූර්ය බලයෙන් ධාවනය වන ත්‍රීවීලරයක් නිර්මාණය කරයි

- Author, සුනෙත් පෙරේරා සහ මාධව කුලසූරිය
- Role, BBC සිංහල සේවය
කොවිඩ් වසංගතය මැද ඉවතලන ද්‍රව්‍ය යොදා ගනිමින් සූර්ය බලයෙන් ක්‍රියා කරන ත්‍රීරෝද රථයක් නිර්මාණය කළ සිසුවෙකු පිළිබඳ කිලිනොච්ච්යෙන් වාර්තා වෙයි.
සූර්ය බලයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීම සිය මීළඟ බලාපොරොත්තුව බව කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සුන්දරලිංගම් පිරනවන් BBC සිංහල සේවය වෙත පැවසීය.
පිරනවන් මේ පරිසර හිතකාමී ත්‍රීරෝද රථය නිර්මාණය කර ඇත්තේ සිය සීයාගේ ද උපකාර ඇතිවය.
"කොවිඩ් වසංගතය නිසා ඉස්කෝලේ යන්න නෑ. අපිට පාඩම් කියලා දෙන්නේ ඔන්ලයින් හරහා. කොවිඩ් නිසා ඉස්සර වගේ යාළුවෝ එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න විදිහකුත් නෑ. ඒ හින්දා මම, මගේ සීයා එක්ක එකතුවෙලා එක එක නිර්මාණ කරනවා. මම අලුතෙන්ම හදපු නිර්මාණය තමයි සූර්ය පැනල යොදාගෙන හදපු ත්‍රිරෝද රථය."
මේ පිරනවන්ගේ පළමු නිර්මාණය නොවේ. සූර්ය බලයෙන් ධාවනය වන පාපැදියක්, පොල් කඩන යත්‍රයක් සහ පොල් ගාන 'මැෂිමක්' ඔහු විසින් කරන ලද සෙසු නිර්මාණ අතර වේ.
පිරනවන් පවසන පරිදි ඔහුට ත්‍රීරෝද රථය නිර්මාණය කිරීමට මාස 08 ක් පමණ ගතව ඇත.
ඔහු සහ ඔහුගේ සීයා ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ උපාංගවලින් වැඩි කොටසක් මිලට ගෙන ඇත්තේ "පරණ යකඩ බඩු කඩවලිනි".
"මම වගේම අය තව හුඟ දෙනෙක් ඉන්නවා. ගෙවල්වල තිබෙන අනවශ්‍ය දේවල් උපයෝගී කරගෙන අලුත් අලුත් දේවල් කරන්න. ඒක ඔයාලට ලොකු සතුටක් වේවි. මේ කොරෝනා කාලයේ ඒ දේවල් කළොත් කිසිම පීඩනයක් නැතිව ඔයාලටත් සතුටින් ඉන්න පුළුවන් වෙයි," යනුවෙන් පිරනවන් සිය අත්දැකීම විස්තර කළේය.

හිරු එළියෙන් ධාවනය වන ත්‍රීරෝද රථය පැයට කිලෝමීටර 50 ක වේගයකින් ධාවනය කළ හැකි බව ඔහු පවසයි.
බස් රථ හැරුනුකොට මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම භාවිත වන්නේ ත්‍රීරෝද රථයි.
ත්‍රීරෝද රථ මෙන්ම සෙසු වාහනවලින් පිට කෙරෙන විෂ දුම් ශ්‍රී ලංකාවේ වායු දූෂණයට විශාල වශයෙන් බලපා ඇති අතර ඊට විසඳුමක් ලෙස පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් නිර්මාණය කිරීමට පෙළඹුණු බව පිරනවන් පැවසීය.
එසේම ජනතාවට ඉන්ධන සඳහා වැය වන මුදල් ඉතිරි කර ගැනීමටත් ඉන් හැකියාව ලැබෙන බව ඔහු සඳහන් කළේය.

සිය මුණුබුරාගේ මේ ව්‍යාපෘතිය සඳහා තවත් විවිධ පුද්ගලයන්ගෙන් උදව් ලැබුණු බව දොරෙයිසාමි සුප්පයියා BBC සිංහල සේවය වෙත පැවසීය.
"කොවිඩ් වසංගතය එක්ක පාසල් නැති නිසා, යාළුවෝ මුණ ගැහෙන්න නැති නිසා දරුවෝ හරිම කනස්සල්ලෙන් තමයි ඉන්නේ. ඒත් මගේ මුණුබුරා මේ නිර්මාණ කරන්න කාලය යොදවන හින්දා එයාට නම් කනස්සල්ලක් නැති පාටයි."
"එයා හරිම කැමතියි මගෙත් එක්ක එකතුවෙලා විවිධ නිර්මාණ කරන්න. මමත් ගෙදරම ඉන්න නිසා එයාගේ වැඩවලට උදව් කරනවා. ඒ නිර්මාණ හින්දා දරුවත් සතුටින් ඉන්නවා. මේ වසංගත කාලයේ දරුවෝ ආරක්ෂා කරගෙන, දරුවෝ සතුටින් තියන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා." යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ ගැනත් කියවන්න:











