යුද්ධය නිම වී දොළොස් වසරක්: "යුද්ධය නිසා අපිට අහිමි වූ දේ බොහෝයි"

යුධ ස්මාරකය අභියස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

යුද්ධය අවසන් වී දොළොස් වසක් ගතව ඇතත් යුද්ධය නිසා සිය ආදරණීයයන් අහිමි වූ පවුල් තවමත් ඉන් පීඩා විඳිති. තමාට අත්විඳීමට සිදුව ඇති දුක්ගැහැට තවත් අයෙකුට උරුම නොවනුවස් යළි යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ඔවුහු පවසති.

යුද්ධයට සෘජුවම සම්බන්ධ වූ අය මෙන්ම එයට සෘජුවම සම්බන්ධ නොවූ අයද මේ අතර සිටින බව පෙනේ. යුද ගැටුම් පැවති උතුරු සහ නැගෙනහිර මිනිසුන් මෙන්ම දකුණේ ඇතැම් අය ද තවමත් යුද්ධයේ අතුරු ප්‍රතිඵල මෙන්ම අනෙකුත් ආර්ථික හා සමාජීය ගැටලු නිසා ද බොහෝ අපහසුතා මැද එදිනෙදා ජීවිත සරිකර ගැනීමට උත්සාහ කරන බව දැකිය හැක.

යුද ජයග්‍රහණය එක් පාර්ශවයක සතුටට හේතු වන අතරේ උතුරේත් දකුණේත් ඇතැම් පවුල්වලට එය අහිමි වීම පිළිබඳ කතාවකි.

යුද්ධය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අතර, තවත් පිරිසකට තම දුදරුවන් සඳහටම අහිමි වී ගොස් ඇති අතර, පිරිසක් සදාකාලික අබාධිත තත්වයට පත්විණ.

යුද්ධය, පුනුරුත්ථාපනය, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, යුද සැමරුම් මේ ආදි කාරණා යුද්ධය හා සම්බන්ධ ශබ්දකෝෂයේ නිතර කියැවෙන වදන්ය.

යුද්ධය නිමා වී වසර දොළොහක් ගතවු අවස්ථාවේ වසර තිහක කුරිරු යුද්ධයෙන් තම දරුවන් අහිමිවූ මව්වරු සීය දහස් ගණනක් අදත් රටේ විවිධ ප්‍රදේශවල තම දරුවන් නොමැති කමින් දුක් වෙමින් ජිවත් වෙති.

ශ්‍රියා ගජසිංහ, කිළිනොච්චි හිදී පැවති සටනකදී තම පුත්‍රයා මරුමුවට පත්වීම නිසා දුකට පත් තවත් එවැනි මාතාවකි.

"දැන් මගේ පුතා නැතිවෙලා අවුරුදු විසි තුනක් වෙනවා, එයා රට වෙනුවෙන් එයාගේ යුතුකම ඉටුකලා. මේ කුරිරු යුද්ධය ඉවර වෙච්ච එක ලොකු දෙයක්. තවත් මිනිස්සු මැරෙන්නේ නෑ දැන්. එත් මට මගේ පුතා අහිමි උනා. හමුදාවෙන් අපිව බලාගන්නවා එත් මට මගේ පුතා නැතිවුන පාඩුව මකන්න බෑ. අපි කන හැම බත් කටක් කටක් ගානෙම මගේ පුතාව මතක් වෙනවා," යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ශ්‍රියා ගජසිංහ වැනිම දහස් ගණනක් මව්වරු හා බිරින්දෑවරුන් තම පුතා හෝ ස්වාමි පුරුෂයා අහිමිවීමේ වේදනාවෙන් දකුණේ මෙන්ම උතුරේ ද දැඩි ලෙස පීඩා විඳිමින් ජීවිත් වෙති. එමෙන්ම තුවාල ලබා පුනුරුත්ථාපනය ලැබූ විශාල සංඛ්‍යාවක් ද තම ජීවිතය ගොඩ නගා ගැනීමට දැඩි වීරියක් දරනු ලබයි.

යුද්ධයට මුහුණ දී පුනුරුත්ථාපනය ලැබු හිටපු එල්ටීටීඊ සාමාජිකාවක් වන තිස් එක් හැවිරිදි සත්‍යනාදන් යශෝදරනි යුද්ධයෙන් බැට කෑ තවත් තරුණියකි.

සත්‍යනාදන් යශෝදරනි ඇයගේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඇය යුද්ධයේ අවසන් කාලයේ එල්ටීටීඊ සංවිධානයට එකතු වු බවත් ඇය මෙන්ම උතුරේ තරුණ තරුණියන් විශාල පිරිසක් අවසන් අදියරේදී එල්ටීටීඊ සංවිධානයට එකතුවු බවත් ඇතැමෙක් කැමැත්තෙන් එම සංවිධානයට බැදුණු අතර තවත් පිරිසක් බලහත්කාරයෙන් සංවිධානයට එකතු කරගනු ලැබුණු බවත්ය.

සත්‍යනාදන් යශෝදරනි
ඡායාරූප ශීර්ෂ වැකිය, සත්‍යනාදන් යශෝදරනි

"මුලතිව් ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම්වල තමයි අපි නිරතවෙලා හිටියේ. කෙහොමහරි ආමි එක 2009 අවුරුද්දේ මුලතිව් අල්ලාගත්තා. පූරුවේ වාසනාවකට මගේ ජීවිතයට කිසිම හානියක් යුද්ධයෙන් සිද්ධ වුණේ නෑ. මම යුද හමුදාවට භාර වුණාට පස්සේ අපිව පුනුරුත්ථාපනයට යොමු කරා. පුනුරුත්ථාපන කාලය නිමා වුණාට පස්සේ මම ගෙදර ආවා.

"පුනුරුත්ථාපනය ඉවරවෙලා ගෙදර එනකොට අපේ ජීවිත ගොඩනඟන්න විවිධ උදවු උපකාර කරනවා කියලා නම් කිව්වා. ඒත් පිරිසකට ඒ උදවු උපකාර ලැබුණා. තවත් පිරිසකට ඒවා ලැබුණේ නෑ. මට රාජ්‍ය නොවන සංවිධානයක් හරහා මහන මැෂිමක් දුන්නා. මම පුනුරුත්ථාපන කාලය තුළ මැහුම් පාඨමාලාවක් හැදෑරුවා. ඒක හින්දා තමයි මට මහන මැෂිමක් දුන්නේ," යැයි ඇය පැවසීය.

"ඒත් අපේ ගම්වල ජීවත් වෙන්නේ එදාවේල කන්න ජීවිත අරගලයක යෙදෙන මිනිස්සු. එහෙම මිනිස්සුන්ට අපේ ගම්වල ඇඳුම් මහගන්න වත්කමක් නෑ. ඒ හින්දා මහන මැෂිම ගෙදර තියලා මම ගොවිතැන් කරනවා. මගේ මහත්තයා එක්ක එකතුවෙලා අපි දැනට ගෙදර වත්තේ රටකජු වවනවා. එළවළු වගා කරනවා."

"දැනට අපි ජිවත්වෙන්නේ තහඩු පැල්පතක. අපිත් ආසයි උළු වහපු ගෙදරක ජීවත්වෙන්න. පුනුරුත්ථාපනය වුණ අයට නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වට අපිට තවම ස්ථිර ගෙයක් ලැබුණේ නෑ. පුනුරුත්ථාපනය වුණ බහුතර පිරිසකගේ ජීවිත තත්වය මේ විදිහට තමයි ගෙවෙන්නේ."

සත්‍යනාදන් යශෝදරනි

පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලදී අතීතය අමතක කිරීමට උපදෙස් දුන් බව බොහෝ හිටපු සාමාජිකයෝ පවසති. එහෙත්, හමුදාව විසින් නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම සහ හිටපු සාමාජිකයින් නිරන්තරයෙන් නිරීක්ෂණය හෝ ආවේක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම ඔවුන්ගේ අතීතය අමතක කිරීමට ඉඩ ලබා නොදෙන බව ඔවුහු පැවසූහ.

යුද්ධය නිසා ශරීරයේ විවිධ අංග අහිමි වූවන්ද විශාල සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් අද ජීවත් වීමට බොහෝ සටනක නිරත වෙයි. වයස අවුරුදු 41 ක් වන රත්නම් ජීවාකරන් එල්ටීටීඊ සංවිධානයේ සිට සිය පාදයක් අහිමි කර ගත් තවත් එවැනි එක තැනැත්තෙක් පමණයි.

යතුරුපැදිවලට භාවිතා කොට ඉවත දැමු ටයරකින් නෙළුම් මලේ හැඩයට කැපුමක් සිදුකොට මල් සිටුවීමට මල් පෝච්චි සකස් කරමින් සිටි රත්නම් ජීවාකරන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඔහුට හමුවන ඕනෑම වැඩක් කරන බවත් ඔහුට ස්ථිර රැකියාවක් නොමැති බවත්ය. පරණ ටයර්වලින් මල් පෝච්චි කැපීම, විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර අලුත්වැඩියාව සහ තමන් සතු ශබ්ද විකාශන යන්ත්‍රයක් කුලියට ලබාදීම වැනි විවිධ දේ තම ජීවිකාව සරුකර ගැනීමට කරන බව ඔහු පවසයි.

"මට අනෙක් අය වගේ කුඹුරු වගා කරන්න බෑ. යුද්දේ කාලයේ මගේ දකුණු කකුලට බෝම්බ කෑල්ලක් වැදුණා. මගේ දණහිසට තමයි බෝම්බ කෑල්ල වැදුණේ. දණිස් පොල්කට්ට කියන දණිස් ඇටය සම්පූර්ණයෙන්ම බෝම්බ කෑල්ලට කුඩුවෙලා ගියා. දැන් දණිස් කටුවක් නැති දකුණු කකුලක් මට තියනවා. යුද්ධය හින්දා මට ඉතුරුවුණේ පණ නැති කකුලක් විතරයි. ඒත් මම ජිවිතය අතහැරියේ නෑ. මගේ දරු පවුල රැක ගන්න මම මොනවා හරි කරන්න එපැයි. ඒ හින්දා මට අහුවෙන මොන මොනවා හරි දේවල් කරනවා."

රත්නම් ජීවාකරන්
ඡායාරූප ශීර්ෂ වැකිය, රත්නම් ජීවාකරන්

"වෑල්ඩින් වැඩ කරනවා, ගෘහ උපකරණ අලුත්වැඩියා කරනවා, මල් පෝච්චි කපනවා, පින්තූර රාමු කරනවා වගේ වැඩ මම දන්නවා. ඒවා කරලා එදිනෙදා වියදම හොයා ගන්නවා. මට බර වැඩක් කරන්න බෑ. මගේ කකුල අහිමි වෙන්න කලින් අපි හොඳට කුඹුරු වැඩ කරලා ජිවත්වුණා. දැන් ඒවා සිහිනයක් විතරයි." යනුවෙන් රත්නම් ජීවාකරන් පැවසීය.

"මම එල්ටීටීඊ සංවිධානයට බැඳුනේ යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා. අවුරුද්දක් එකහාමාරක කාලයක් විතරයි මම සංවිධානයේ හිටියේ. යුද්දේ ඉවරවුණාට පස්සේ මම හමුදාවට භාරවෙලා පුනුරුත්ථාපනය ලැබුවා. පුනුරුත්ථාපනය නිමා කරලා ගෙදර ආවා. ඇවිල්ලා ඉතින් දැන් පොඩි පොඩි වැඩ කරගෙන ජීවත් වෙනවා."

"ස්ථිර ආදායම් මාර්ගයක් මට නෑ. අපේ ගෙදරට ළිඳක් නෑ. ළිඳක් කපා ගන්න සල්ලි නෑ. ළිඳක් තිබුණා නම් මගේ පවුලේ අය හරි වගා කරයි. ඒත් ඒවාට ලොකු මුදලක් එකවර ඕනේ. එහෙම එකවර මුදලක් වියදම් කරන්න අපිට සල්ලි නැති නිසා ළිඳක් කපාගන්න බලාපොරොත්තුවෙන් දැන් ජීවත් වෙනවා."

"යුද්ධය නිසා අපිට අහිමි වූ දේ බොහෝයි. තියන අඩියක් අඩියක් ගානේ මගේ කකුලේ වේදනාව දැනෙනවා. ඒත් පවුලේ අය ගැන හිතලා මම ජීවත් වෙනවා."

ඇතැම් අයට යුද්ධයෙන් ශරීරයේ අංගෝපාංග අහිමිවූ අතර ඇතැමෙකුට සිය මව, පියා හා දරුවන් සදහටම අහිමි කළහ.

යුද්ධයේ අවසන් කාලයේ ඇතැම් පවුල් සම්පුර්ණයෙන්ම ජීවිතක්ෂයට පත්වු අතර, ඇතැම් පිරිසකගේ පවුල්වල මව, පියා හා දරුවන්ගෙන් කිහිපදෙනෙකු හෝ අයෙකු බැගින් ජීවිතක්ෂයට පත්විණ.

ජීවිතක්ෂයට පත්නොවු ඇතැම් පිරිසක් යුද සමයේ අතුරුදහන් වූ අතර යුද්ධය නිමාවී වසර දොළහක් ගතවුවද අතුරුදහන්වූවන් පිළිබඳ කිසිඳු සඳහනක් නොමැති බවට අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පවසති.

යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අඛණ්ඩව වසර හතරක් උපවාසයක ද නිරතව සිටිති. ඒ තමන්ගේ ඥාතීන්ට සිදුවුයේ කුමක්ද යන්න දැනගැනීමටයි.

"යුද්ධය කාලයේ හා යුද්ධයේ අවසන් දවස්වල අපේ දරුවෝ විශාල පිරිසක් අතුරුදහන් වුණා. දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු දොළොහක් ගතවෙලා තියනවා. අපේ දරුවන්ට මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නෑ. දරුවන්ට මොකද වුණේ කියලා රජය පාර්ශවයෙන් කිසිවක් කියන්නෙත් නෑ." යනුවෙන් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි කාසිපිල්ලේ ජෙයවනිතා පැවසීය.

කාසිපිල්ලේ ජෙයවනිතා
ඡායාරූප ශීර්ෂ වැකිය, කාසිපිල්ලේ ජෙයවනිතා

"අතුරුදහන් වූ දරුවෝ නැවත අපිව බලන්න එයි කියලා අපි බලාගෙන ඉන්නවා. අපේ ගැටලුව ගැන කිසිවෙකුට දුකක් නෑ. ඒ දුක දන්නේ අපි විතරයි. අපි කියන්නේ අතුරුදහන්වෙලා ඉන්න අපේ දරුවෝ හොයලා දෙන්න කියලා විතරයි."

සෑම රජයකටම විවිධ අවස්ථාවන් හිදී තම ගැටලුව ඉදිරිපත් කළත් තමන්ගේ අතුරුදහන්වූ දරුවන් ගැන මේ වන තෙක් කිසිම පිළිතුරක් නොලැබුණු බව ඇය පැවසීය.

"යුද්ධය හින්දා උතුරු නැගෙනහිර විශාල පිරිසගේ ජීවිත නැතිවුණා. ඒ අයගේ ඥාතීන් දන්වා ඔවුන්ගේ ඥාතීන් මියගියා කියලා. ඒ හින්දා දැන් හිත හදාගෙන ඉන්නවා. ඒත් අපේ දරුවෝ අතුරුදහන් කියලා විතරයි අපි දන්නේ. දරුවා අද එයි හෙට එයි කියලා අතුරුදහන්වූවන්ගේ දෙමාපියන් මඟ බලාගෙන ඉන්නවා."

"අපේ ලෙයින් උපන් දරුවා දවසක් දෙකක් දකින්නේ නැතිව ඉන්නකොට දෙමාපියන්ට මොන තරම් දුකක් දැනෙනවාද? දැන් අපි අවුරුදු 12 ක් ඒ වේදනාව විඳිනවා. අතුරුදහන්වූවන්ගේ ගැටලුවට ජාත්‍යන්තර මැදිහත්වීමක් මත සාධාරණ විසඳුමක් ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අපි මැරෙන්න කලින් අපිට අපේ දරුවෝ දැක ගන්න ලැබුණොත් ඇති."

යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අඛණ්ඩව වසර හතරක් උපවාසයකද නිරතව සිටිති
ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අඛණ්ඩව වසර හතරක් උපවාසයකද නිරතව සිටිති

"ඇතැම් දෙමාපියෝ තමන්ගේ දරුවෝ ගැන හිතලා හිතලා මැරිලා ගියා. ඔවුන්ට සැනසීමේ මැරෙන්නවත් පුළුවන්කම ලැබුණේ නෑ. දරුවෝ සොයා ගන්න බැරිවීම ගැන දුකින් තමයි එයාලා අවසන් හුස්ම හෙලුවේ. අපි වාගේ විශාල පිරිසක් උතුරු නැගෙනහිර ඉන්නවා. අපේ දුක නිවෙන්න අපිට අපේ දරුවෝ හොයලා දෙන්න කියලා තමයි අපි හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නේ."

මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන අම්බිගා සත්ගුනනාදන් බිබිසී සිංහල සේවය සමග පැවසුවේ පසුගිය රජය සමයේ පශ්චාත් යුධ ක්‍රියාවලියේ සුළු හෝ ප්‍රගතියක් අත්කරගනිමින් තිබුනද එයද අතරමග නතර වූවා පමණක් නොව මේ වන විට එම ප්‍රගතිය ආපසු හරවා ඇති බවය.

මානව හිමිකම් ක්‍රියාකාරිනී අම්බිගා සත්ගුනනාදන්

ඡායාරූප මූලාශ්‍රය, Ambiga Sathgunanathan

ඡායාරූප ශීර්ෂ වැකිය, මානව හිමිකම් ක්‍රියාකාරිනී අම්බිගා සත්ගුනනාදන්

"මා පවසන්නේ අතීතය සමඟ ගනුදෙනු කිරීමේදී අප සාර්ථක නොවූයේ යුද්ධය අවසන් වීමෙන් පසු එල්ටීටීඊය පරාජය කළ රජය, වහාම කිසිඳු මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇති බවට පිළිගැනීමට අපොහොසත් වීමයි. එසේ ප්‍රතික්ෂේප කිරීම දිගටම කරගෙන ගියා විතරක් නෙමෙයි එල්එල්ආර්සීය විසින් කර තිබුණ හොඳ නිර්දේශ පවා ක්‍රියාත්මක කළේ නෑ."

ඇය පැවසුවේ ඉන්පසුව බලයට පැමිණි "යහපාලන රජය" අතීතය සමඟ කටයුතු කිරීමට උත්සාහ කළ නමුත් බොහෝ හේතු නිසා එය සාර්ථක නොවූ බවත්, වත්මන් රජය යළිත් වරක් කිසිඳු මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇති බව ප්‍රතික්ෂේප කර ඇති බවය.

"අප ලබා ඇති කුඩා ප්‍රගතිය හෝ ආපස්සට හැරී ගොස් ඇති අතර එයට හේතුව ජනවාර්ගික ගැටුමේ මූලික හේතු පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. ජනවාර්ගික ගැටලුවක් පවා පවතින බව රජය ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අතීතය සමඟ කටයුතු කිරීම කිසි විටෙකත් සිදු වේ යැයි විශ්වාස කරන්න බෑ. මොකද ඔබ ගැටලුවට හේතුව ප්‍රතික්ෂේප කරන විට, ගැටලුව සමඟ කටයුතු කරන්නේ කොහොමද?"

ඇය තවදුරත් පැවසූවේ පසුගිය දා සම්මත කරගත් 20 වන ව්‍යවස්ථා සංශෝධයන හරහා, ලබා ගතව හැකිව තිබු යම් කිසි ප්‍රගතිය හෝ නැවත ආපසු හරවා ඇති බවය. එම සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම් කොමිසම වැනි අනෙකුත් කොමිසම් සභාවන් හි ස්වාධීනත්වය පිළිබඳව ගැටලු මතුවී ඇති බවය.

'මේ රට අපේ, අපි එකට ගමනක් යමු'

යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය විශාකා ධර්මදාස බීබීසී සිංහල සේවය සමග පැවසුවේ දරුවකු අතුරුදහන් වීම ලෙහෙසි පහසු දෙයක් නොවන බවත් එම වේදනාවෙන් එලියට ඒම ඉතාමත් අසීරු බවත් තමා වසර විස්සකට වැඩි කාලයක් තම පුතාට කුමක් සිදුවී දැයි විමසිල්ලෙන් සිටින බවත්ය.

"ප්‍රධානම දේ තමයි නැවත යුද්ධයක් ඇති නොවන්නට විශේෂයෙන්ම රටේ දේශපාලකයන් හා ජනතාව වග බලාගන්න ඕන. දේශපාලකයෝ, මිනිස්සු අවුස්සලා ඒගොල්ලන්ගේ ළමයින්ව පරිස්සම් කර ගනී. එත් මිනිස්සු තේරුම් ගන්න ඕන, අවාසනාවට වගකීමක් දරන්නැති දේශපාලකයෝ තමයි ඉන්නේ ලංකාවේ. ඒ ගොල්ලෝ අපිව උසිගන්වලා ඒගොලන්ගේ දරුවෝ පරිස්සම් කරගනී. දැන් බලන්න කොවිඩ් එන්නත්කරණය හොදම උදාහරණය. කාටද එන්නත දෙන්නේ? කිසිම පිළිවෙලක් නෑ," යනුවෙන් ඇය පැවසීය.

විශාකා ධර්මදාස

ඡායාරූප මූලාශ්‍රය, Vishaka Dharmadasa FB

"ඉතින් එහෙම වගකීමක් අරගන්න බැරි දේශපාලකයෝ ඉන්න රටක ජනතාවක් හැටියට අපි අනිවාර්යයෙන්ම මොලේ පාවිච්චි කරන්න ඕන. මොකද වේදනාව දුක අවසානයේ තියෙන්නේ අපිට පමණයි. සිංහල හෝ වේවා දමිල හෝ වේවා මුස්ලිම් හෝ වේවා වෙනත් ජාතියක් හෝ වේවා මේ රටේ පුරවැසියන් හැටියට අපි 'මේ රට අපේ, අපි එකට ගමනක් යමු' කියන පණිවිඩය තමයි සියලු දෙනාටම දෙන්න ඕන."

ආණ්ඩුවේ ප්‍රතිචාරය

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවය සමග පැවසුවේ "මානව හිමිකම් ක්‍රියාකාරීන් යැයි කියාගන්නා පුද්ගලයින්" හට තම රජය පෙරලා දැමීමේ උවමනාවක් ඇති බවත් රජය විසින් උතුරු නැගෙනහිර පළාත්වල සිදුකල විශාල සංවර්ධය ඔවුන් නොදකින බවත්ය.

"මේ යට දේශපාලන උවමනාවල් තියෙනවා. අපි මුකුත් කලේ නෑ කියන ඒ යට කියන්න පුලුවන්ද යහපාලන රජය මොකද කලේ කියලා? ඇයි යහපාලනය කාලයේ ඒ අය කටවහගෙන හිටියේ? මේ අයට ඕන අපේ ආණ්ඩුව වට්ටන්න."

"අපේ රජය තමයි ඉතාමත් කෙටි කාලයක් තුලදී ලක්ෂ තුනකට වැඩි සමාන්‍ය ජනතාව නැවත පදිංචි කළේ. අපි 12,000 ක්, අන්තවාදී අදහස්වල එළඹ සිටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කර සමාජගත කළා. LLRC වාර්තාව අරගෙන ඒ වැඩපිළිවෙල ආරම්භ කළා. විශාල සංවර්ධනයක් උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධය අවසන් වීමෙන් පස්සේ කලේ අපේ රජය. ඒකේ ප්‍රතිඵල අද බුක්ති විඳින්නේ එහෙ ඉන්න ජනතාව. මේ අය ඒවා මුකුත් දකින්නේ නෑ. මේ අයට දේශපාලන අරමුණු තියෙනවා," යනුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

මේ ගැනත් කියවන්න: