ශ්‍රී ලංකාවේ සිංහල අම්මයි දෙමළ අම්මයි: "අඬන්න කඳුළු නෑ."

'මායිම් ගම්මාන' යනු යුද සමයේ නිරන්තරයෙන් අසන්නට ලැබුණ වචන දෙකකි. යුද හමුදා ආරක්ෂක වැට සහ එල්ටීටීඊ බලය පැතිර තිබුණ ප්‍රදේශය ආසන්නයේ පිහිටි ගම්මාන 'මායිම් ගම්මාන' වශයෙන් හඳුන්වනු ලැබුණි.
සිංහල ජනතාව බහුල වශයෙන් වාසය කළ මායිම් ගම්මාන ශ්‍රී ලංකා යුද හමුදාවේ අවසන් ආරක්ෂක වැටෙන් මෙපිට පිහිටා තිබුණ අතර දෙමළ ජනතාව බහුතරය වූ මායිම් ගම්මාන එල්ටීටීඊ සංවිධානයේ අවසන් ආරක්ෂක වැට ආසන්න සීමාවේ විය.
යුද හමුදා ආරක්ෂක වැට මායිමේ පිහිටි සිංහල ගම්මානවල ජනතාව එල්ටීටීඊයේ ප්‍රහාරයන්‍ට ගොදුරු වීමේ බියෙන් ජීවත් වූ අතර, යුද හමුදා ප්‍රහාරයන්ට ගොදුරු වීමේ බියෙන් දිවි ගෙවීමට එල්ටීටීඊ මායිමේ වාසය කළ ජනතාවට සිදුවිය.
වවුනියාව, කුඩාකච්චකොඩිය ගම්මානය ද වවුනියාව හා අනුරාධපුර දිස්ත්‍රික් සීමාවන්හි පිහිටි මායිම් ගම්මානයකි. වන්නි යුද්ධ හමුදා අවසන් ආරක්ෂක වැටට ඔබ්බෙන් පිහිටි පදවිය රක්ෂිතය, සහ නෙඩුන්කර්නි රක්ෂිතය හරහා එල්ටීටීඊ බලකොටුව වූ මුලතිව් දක්වා දිවෙන ඝන වනාන්තරය පිහිටා ඇත.
සිංහල මවකගේ කඳුළු
කුඩාකච්චකොඩිය නිරන්තරයෙන් එල්ටීටීඊ ප්‍රහාරයන්ට ලක් වූ ගම්මානයකි. යුද්ධය සමයේ ගම්මානයට එපිටින් ඇති ප්‍රදේශයේ "වෙඩිල්ලක් පත්තු නොවූ දිනයක් නොමැති," බව ගම්වාසීහු පවසති.
එම ගම්මානයේ අදත් වාසය කරන ආර්.ඒ. ස්වර්ණලතා යුද්ධය හේතුවෙන් අනන්ත දුක් ගැහැට විඳි කාන්තාවකි.

"මට දැන් අවුරුදු හැට දෙකක්.යුද්ධය හින්දා මේ ජීවිතේ නොවිඳිනා දුක් විඳපු මට ජීවිතේ තවත් විඳින්න තරම් දුකක් ඉතුරු වෙලා නෑ. මගේ මුල් ගම හංවැල්ල පැත්තේ" ස්වර්ණලතා සිය ජීවිත කතාව බීබීසී සිංහල සේවයට හෙළි කළාය.
"ඉස්කෝලේ යන කාලේ පාඩම් කරන කොට ලාම්පුවක් ඇඟට පෙරළිලා මම පිච්චුණා. මගේ ඇඟ,කකුල් දෙක, බඩ ප්‍රදේශය ගින්නෙන් පිච්චිලා හම ඇඟට ම ඇලිලා තියෙන්නේ. ගින්නෙන් බරපතල විධියට පිච්චුණ හින්දා මට හරියට ඉගෙන ගන්නවත් බැරි වුණා," ඇය තමා මුහුණ දුන් අතීත අත්දැකීම සිහි කරන්නේ කඳුළු අතරිනි.
"එහෙම ඉන්නකොට අපේ අයියා කෙනෙකුට වවුනියාව මිනින්දෝරු කාර්යාලයේ රස්සාවක් හම්බ වුණා. අයියා වවුනියාවට ඇවිල්ලා ටික කාලයක් යනකොට කුඩාකච්චකොඩියේ පදිංචි ගැහැණු ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන්ගෙන ඒ අක්කව කසාද බැන්දා. අයියා කසාද බැඳලා වවුනියාවේ පදිංචි වෙලා හිටියේ. අපි එතකොට අයියලාගේ ගෙදර එනවා. එහෙම එනකොට මගේ අයියා බැඳපු අක්කාගේ මල්ලි කෙනෙක් මගෙත් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. එයාගේ නම අබේසේකර. අපේ සම්බන්ධය ගැන අබේසේකර අපේ ගෙදරින් අහලා තිබ්බා. අපි දන්න කියන අය හින්දා අපේ ගෙදරින් අබේසේකරට විරුද්ධ වුණේ නෑ. ඒ හින්දා අපි දෙන්නා එක වහලක් යටට ආවා."
"මම කුඩාකච්චකොඩිය ගමට එනකොට මේ ගම සරුසාර ගමක්. ගම වටේට වැව් දෙකක් තිබුණා. ඒ වැව් දියෙන් ගොවිතැන් කරලා ගමේ මිනිස්සු බොහොම සතුටින් ජීවත් වුණා. ඔහොම ඉන්නකොට තමයි එල්ටීටීඊ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තෙ. වවුනියාව - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගය වැටිලා තිබුණේ අපේ ගම හරහායි. ඒත් කලබල පටන් ගත්තාට පස්සේ අපේ ගම කෙළවරෙන් ත්‍රිකුණාමලයට යන්න බැරි විධියට පාර වහලා දැම්මා. ඒ හින්දා අපිට වවුනියාවෙන් එහාට යන්න බැරි වුණා."

යුද ගැටුම් ආරම්භවීමත් සමඟ බොහෝ ගම් වැසියන් රාත්‍රිය ගත කළේ සිය නිවෙස්වල නොවේ.
"ගමට කිලෝමීටර හතරකට එහායින් තිබෙන මඩුකන්ද පන්සලට ගිහිල්ලා තමයි ගමේ මිනිස්සු රෑ පහන් කරන්නේ. අපේ ගම මායිම් ගම්මානයක් හින්දා වගේම ගමේ ආරක්ෂාවට හමුදාව හිටියේ නැති හින්දා - ගමේ මිනිස්සු හමුදාවේ උපදෙස් අනුවයි හැමදාම හවස මඩුකන්ද පන්සලට යන්න පුරුදු වෙලා හිටියේ. ඒ දවස්වල හැමදාම හවස 5.30 වෙනකොට හමුදාවේ හා පොලිසියේ ට්‍රක් රථ ගමට එනවා. එතකොට ගමේ මිනිස්සු ඒ ට්‍රක්වල නැගලා මඩුකන්ද පන්සලේ නිදාගන්න යනවා. රෑට ගමේ හැමෝ ම පන්සලේ නිදාගෙන පහුවදාට එළිවුනාම ඒ ට්‍රක්වලට ම නැගලා ගමට එනවා. එහෙම ඇවිල්ලා ගොවිතැන් කරලා නැවත රෑට නිදාගන්න පන්සලට යනවා. කාලයක් අපි ඔය විධියට ජීවත් වුණා. ඔය අතරේ තමයි ගමේ මිනිස්සු හඬවලා අපට මතක හිටින්න කොටි ගමට ගැහුවේ."
ඒ 1992 ඔක්තෝබර් මාසයේ 09 වැනිදාය .
"ඒ වෙනකොට ගමේ ආරක්ෂාවට කවුරුවත් හිටියේ නෑ. මගේ මතකේ හැටියට,මුළු ගමේම රැකවරණයට හිටියේ හමුදාවේ පස් හය දෙනෙක් විතරයි. ගමේ මිනිස්සු හැම දාම හවස ට්‍රක්වල නැගලා පන්සලට යන එන එක ගැන ඇහැ ගහගෙන හිටපු කොටියෝ දවසක් මග රැකලා ඒ ට්‍රක් රථවලට වෙඩි තිබිබා. ට්‍රක් එකට ගිනි තියලත් තිබ්බා.එදා කොටි ගහලා - ගමේ මිනිස්සු හත් දෙනෙක් මැරුණා. අපේ පවුලේ කවුරුවත් එදා ට්‍රක් එකෙන් පන්සලට ගියේ නෑ. මොකද? එදා අපේ මහත්තයාගේ නංගිගේ ගෙදරට පොල් අතු හෙවිල්ලමින් තමයි අපේ පවුලේ කට්ටිය හිටියේ. මගේ මහත්තයාගේ පවුලේ පිරිමි සහෝදරයෝ හත් දෙනෙක් හිටියා. නංගිගේ ගෙදර වැඩේ ඉවර නැති හින්දා අපේ පවුලේ කට්ටිය හවස පන්සලට ගියේ නැහැ..අද අපි ඔක්කෝම ඉන්න හින්දා මහ ගෙදර රෑට නිදා ගමු කියලා අපි තීරණය කරල පන්සලට ගියේ නැහැ. එහෙම ඉන්න අතරේ තමයි ගමේ අනෙක් මිනිස්සු ගිය ට්‍රක් එකට කොටි ගැහුවේ."

"කොටි වෙඩි තියනකොට අපේ පවුලේ අය කැළේට දිව්වා. අපි දරුවෝ අරගෙන අතට අහුවුණ අනෙක් දේවලුත් අරගෙන ඇඳිවතින් විතරයි කැළේට පැන්නේ. කැළේ මැදට යනකොට අපි දැක්කා අපේ ගෙවල් පැත්තෙන් මහා ගින්නක්. අපි ඒ ගැන බලන්නේ නැතුව කැළෑව මැදින් දුවල ගිහිල්ලා මයිලන්කුලම කියන සිංහල ගමට ගියා. ඒ ගමේ මිනිස්සු අපිව ආරක්ෂා කරගෙන පන්සලට අරගෙන ගියා. පන්සලට ගියාට පස්සේ තමයි අපි දන්නේ අර ගිනි පත්තු වෙලා තිබෙන්නේ අපේ ගෙවල්වලට ගිනි තැබීමෙන්ය කියලා. පහුවදා උදේ ගමට ගියපු හමුදාවේ අය ඇවිල්ලා කිව්වා - අපේ ගෙවල් ඔක්කෝටම ගිනි තියලය කියලා. අපි ගොවිතැන් බත් කරලා ගත්තු අස්වැන්න ඔක්කෝම ගින්නට අහුවෙලා විනාශ වෙලා තිබුණා. අපේ බලාපොරොත්තු එදා ඒ විදියට විනාශ වුණා."
"ගමට කොටි ගහලා අනාථ වුණ අපි පන්සලේ මාස හයක කාලයක් අවතැන් වෙලා හිටියා. එහෙම ඉන්නකොට හමුදාවෙන් ගමට කඳවුරක් දාලා දුන්නා. ඒ විශ්වාසය මත ගමේ මිනිස්සු නැවත පැල්පත් අටවාගෙන ගමට ආවා. එහෙම ආවට පස්සෙත් සතියකට දෙකකට වතාවක් ගමේ ආරක්ෂක හමුදා මුරපොළවලට කොටි ගැහුවා. මොක ද අපේ ගමේ ආරක්ෂක වැට හින්දා කොටින්ට අනුරාධපුරය පැත්තට ඇතුළු වෙන්න බැරි වෙලා තිබ්බේ. ඒත් ඒ කලබල අස්සෙත් අපි එදිනෙදා අපේ වැඩ කරගෙන හිටියා."

"මට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. දුවලා තුන් දෙනයි, පුතාලා දෙන්නයි. ලොකු පුතා සිවිල් ආරක්ෂක බලකායේ හිටියේ. එයා කසාද බැඳලා හිටයේ අපේ ගමට අල්ලපු ගම වන අනුරාධපුරය ඇටඹගස්කඩ ගමේ දරුවෙක් එක්ක. ඒ හින්දා එයා ඒ ගමේ සිවිල් ආරක්ෂක කඳවුරේ හිටියේ. එහෙම ඉන්නකොට 2007 ජූනි මාසේ 01 වැනිදා එයා තවත් හමුදාවේ කෙනෙක් එක්ක කැළේ මැද හමුදා කඳවුරකට මෝටර් සයිකලයකින් ගිහිල්ලා තිබෙනවා. ඒ යනකොට කැළේ රැකලා හිටපු කොටි මගේ පුතාටයි, අර හමුදාවේ ළමයටයි වෙඩි තියලා තිබ්බා. මගේ දරුවාගේ මුළු ඇඟ පුරාම වෙඩි පාරවල්. මම කිරි දීලා හදපු දරුවා මටත් කලින් ජීවිතෙන් සමුගත්තා."
"පුතාගේ අවසන් කටයුතු සිද්ධ කළේ එයාගේ නෝනගේ ගමේ. අපේ ගමේ ඉඳලා ඒ ගමට යන්න එන්න තිබුණේ කැළෑ පාරක්. අපි ඒ ගමට ආවේ ගියේ ඒ කැළෑ පාරෙන් තමයි. පුතා මැරිලා හත් දවසේ දානේ දීලා හත් වෙනි දවසේ අපි නැවත ගෙදර ආවා. අපේ පවුලේ අයයි ඥාතීනුයි ට්‍රැක්ටර්වල නැගලා තමයි ආවේ. අපි ගෙදර ඇවිල්ලා හිටියාට එදා අපේ මහත්තයා හිටියේ බොහොම හිතේ අමාරුවෙන්. මගේ පුතාට දරුවෝ දෙන්නෙක් හිටියා. පොඩි දරුවට එතකොට යාන්තම් අවුරුද්දක් විතර ඇති. මගේ මහත්තයා පහුවදා කිව්වා - පුතාගේ ළමයි බලන්න ඕන කියලා. අපි කිව්වා කැළෑ පාරෙන් තනියම යන්න එපා - තව කීප දෙනෙක් එක්ක පස්සේ යමු කියලා. ඒත් එයා මගේ කීම අහන්නේ නැතුව ෆුට් සයිකලෙන් අර කැළෑ පාරෙන් පුතාගේ දරුවෝ බලන්න ගියා. ඒ යන්න ගියේ එයාගේ ජීවිතේ අවසන් ගමන කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ. ඒත් කාලකණ්ණියෝ මගේ මහත්තයාට වෙඩි තියලා මරලා තිබ්බා. පුතා මැරිලා දවස් අටක් ගත වෙන්න කලින් මගේ මහත්තයත් මට නැති වුණා. දවස් අටක් ඇතුළත පුතයි, මහත්තයයි දෙන්නා ම නැති වුණ මට අන්තිමේදී අඬන්න කඳුළු ඉතුරු වුණේ නෑ."

"දැන් මම ජීවිතේ තනි වෙලා.ගැහැණු දරුවෝ කසාද බැඳලා ගියා. පොඩි පුතා ඩ්‍රයිවින් රස්සාවක් කරනවා. මම එයාලට කරදරයක් වෙන්න කැමති නෑ. එයාලටත් මහ ලොකුවට සල්ලි බාගේ නෑ. මම අද මමයි මහත්තයයි දුක් විඳලා හදා ගත්ත ගෙදර ජීවත් වෙනවා. දැන් අපේ ගෙයි වහලය කඩා වැටිලා. බිත්ති පෙරළෙන්න ළඟයි. දැන් මට මොන ගෙවල් දොරවල් ද? ගෙදර වාගේ තමයි මගේ ජීවිතෙත් දැන් කඩා වැටෙන්න ළඟයි. මට දැන් ජීවිතේ විඳින්න දුකක් ඉතුරු වෙලා නෑ. මම පොල් ඉරටු සුද්ධ කරලා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. ඒත් මගේ මහත්තයගෙයි-ලොකු පුතාගෙයි රූප මගේ හිතේ එහෙට මෙහෙට දුවනවා. අපි දෙන්නා ලොකු පුතා වඩාගෙන හිටිය හැටි මතක් වෙනවා."
දැන් මම ජීවිතේ අනිත්‍යය ගැන මෙනෙහි කරනවා. හැම පෝයට ම සිල් ගන්නවා. මුළු ජීවිතේම දුකක් කියන එක මම ප්‍රායෝගිකව අත්විඳලා තිබෙනවා. මම කාටවත් වෛර කරන්නේ නෑ . නැවත යුද්ධයක් ඇති වෙලා මට වගේ දුකක් කාටවත් ඇති වෙන්න එපා කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා."
දෙමළ මවකගේ කඳුළු
යුද්ධය අවසන් සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අවසන් මුර කපොල්ල පිහිටියේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේය. ඕමන්තෙන් එපිට වූයේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයක් වන අතර ඕමන්තෙන් එපිට එල්ටීටීඊ පාලනයේ ප්‍රධාන කඳවුරු පුලියන්කුලම, කනගරායන්කුලම, මාන්කුලම, කිලිනොච්චිය, මුලතිව්, මල්ලාවි හා නෙඩුන්කේනි ප්‍රදේශ පුරා ක්‍රියාත්මක විය.

'කනගරායන්කුලම' එල්ටීටීඊ සංවිධානයේ බලකොටුවක්ව පැවති අතර, තරමක් උස් භූමියක පිහිටි කනගරායන්කුලම නම ඇසූ පමණින් යුද්ධයේ බිහිසුණු බව සිහි කරවන තරමට ප්‍රසිද්ධ ස්ථානයක් වී පැවතිණ.
කනගරායන්කුලමේ පදිංචි යුවළක් වන නාගමුත්තු හා ලක්ෂ්මී අම්මාට දාව දරුවන් හත් දෙනෙකි. ගොවිතැන ජීවිකාව කර ගත් නාගමුත්තුගේ පයට නොපෑගුණ බිමක් කනගරායන්කුලමේ නැති තරම්ය.
"කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් අපේ පළාත්වල වැඩියෙන් සිද්ධ වුන හින්දා ආණ්ඩුවේ හමුදාව අපේ ගම්මානවලට ප්‍රහාර එල්ල කළා. අපට යුද්දේ උපරිම කරදර ඇති වුණේ 'ජයසිකුරු' මෙහෙයුම කාලයේ. ජයසිකුරු මෙහෙයුම වෙලාවේ අපි ගම්මාන අත්හැරලා යන්න ගියා. කනගරායන්කුලමේ හිටපු පිරිසක් කිලිනොච්චිය පැත්තට ගියා. තවත් පිරිසක් වවුනියාව පැත්තට ගියා. මෙහෙයුම හින්දා අපට කෙලින් ම වවුනියාවට යන්න බැරි වුණා. තැනින් තැන ටික ටික කල් ඉඳලා තමයි අපි වවුනියාවට ආවේ. එහෙම ඇවිල්ලා අපේ ඥාතීන්ගේ ගෙවල්වල අපි ජීවත් වුණා."ලක්ෂ්මී අම්මා සිය මතකය අවදි කරන්නීය.
"ස්ථිර රැකියාවක් නැතුව ජීවත් වුණ අපට අවසානයේ ඉතුරු වුණේ කුලී වැඩ විතරයි. යුද්දේ හින්දා මගේ ළමයින්ට ඉගෙන ගන්න බැරි වුණා. ඒ අය ඉස්කෝලේ ගියේ ටික කාලයයි. බෝම්බ පිපිරීම් මැද ළමයින්ට ඉගෙනීම මග හැරුණා. දරුවෝ හරියට ඉගෙන ගත්තේ නැති හින්දා ඒ අයටත් හරි හමන් රස්සාවක් හොයා ගන්න බැරි වුණා."
"වවුනියාවට ඇවිත් අපි ගොයම් කපලා, කුලී වැඩ කරලා තමයි ජීවත් වුණේ. එහෙම හැම දා ම ජීවත් වෙන්න බැරි හින්දා අපි සාම කාලයේ 2002 අවුරුද්දේ ආපහු කනගරායන්කුලමට ආවා. ඇවිල්ලා යාන්තම් නැවත ජීවිත ගොඩ නගා ගන්න උත්සහ කළා. ඒත් අපේ ජීවිතවල සැනසීම කියන දේ ගෑවිලාවත් තිබ්බේ නෑ. නැවත අපට යුද්දෙට මැදි වෙන්න සිද්ධ වුණා. සාම කාලයෙන් පස්සේ නැවත අපේ ගම්මානවලට හමුදා ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තා. අපි ඒ ප්‍රශ්න මැද කොහොම හරි ජීවත් වුණා. ඔය අතරේ මගේ මහත්තයාට හැදිලා තිබුණ වකුගඩු රෝගය තවත් දරුණු වුණා. එයාගේ අසනීපයට හරිහමන් විදියට බේතක් හේතක් කර ගන්න බැරි වුණ හින්දා මහත්තයා 2006 අවුරුද්දේ නොවැම්බර් මාසයේ 18 වැනිදා වකුගඩු අමාරුවෙන් දුක් විඳලා මැරුණා. ඒත් එක්කම අවසන් සටන් හින්දා අපට ගම්මාන අතහැරලා යන්න සිද්ධ වුණා. අපි මාන්කුලම හරහා මුලතිව්වලට ආවා. මහත්තයා අහිමි වුණ මම මගේ දරුවොත් එක්ක තනි වෙලයි මුලතිව්වලට ආවේ. අපි අවතැන් වෙලා මුලතිව්වලට ආවාට පස්සේ තමයි - මගේ ජීවිතේ දුක්ඛිතම දවස් උදා වුණේ. මගේ ඇස් දෙක වාගේ හිටපු දරුවෝ දෙන්නෙක් දවස් හතරක් ඇතුළත මැරුණා."

"කාලකණ්ණි යුද්ධය මගේ දරුවෝ මගෙන් උදුරා ගත්තා. අපට හරියට කන්න බොන්න දෙයක් නැතුව, හරියට අඳින්න දෙයක් නැතිව ඉන්නකොට 2009 පෙබරවාරි මාසයේ 16 වැනිදා අපි හිටපු පැත්තට ෂෙල් වෙඩි වැටෙන්න ගත්තා. එහෙම වැටුණ ෂෙල් වෙඩිල්ලකට මගේ ලොකු පුතා නාගමුත්තු විග්නේශ්වරන් අහුවුණා. වෙඩි වැදුණ දරුවා එදා මැරුණා. එයා නැති වෙන කොට එයාට අවුරුදු තිහයි. මට මගේ දරුවාගේ අවසන් කටයුතුවත් හරියට කර ගන්න බැරි වුණා. දරුවා වැල්ලේ වළ දාලා අපි පිටත් වුණා. දරුවාගේ අවසන් කටයුතු හරියට කර ගන්න බැරි වුණ එක ගැන මට අදටත් තියෙන්නේ කියා ගන්න බැරි දුකක්."
"ඒ දරුවා නැති වුණ දුකට ආපු කදුළු වේලෙන්නත් කලින් නැවත වතාවක් මගේ ඇස්වලට කදුළු උරුම වුණා. එදා 2009 පෙබරවාරි 20 වැනිදා. මුලතිව් වෙරළට යාන්තම් එළිය වැටුණා විතරයි. එක දිගට ෂෙල් වෙඩි වැටෙන්න පටන් ගත්තා. ඒ ෂෙල් වෙඩිල්ලකට මගේ ලොකු දුවත් බිලි වුණා. එයාගේ මළ සිරුරත් වැල්ලේ වළදාන්න තමයි මට සිද්ධ වුණේ. අම්මෙක් වුණ මම කොහොමද ඒ දුක දරා ගන්නේ? එතකොට නාගමුත්තු විනෝදනි කියන මගේ දරුවාට වයස අවුරුදු විසිඅට ලැබුවා විතරයි. එහෙව් අතීතයක් තමයි මට තියෙන්නේ," ලක්ෂ්මි අම්මාගේ කඳුළු තවමත් වියළී නැත.

"යුද්දේ ඉවර වුණාට පස්සේ අපි හමුදාවට භාරවෙලා සෙට්ටිකුලමේ අනාථ කඳවුරුවලට ආවා. අපි ඒ කඳවුරුවල මාස ගණනාවක් ඉඳලාආයෙත් ගමට ගියා. ඒත් මගේ මහත්තයාගේ, දරුවන්ගේ මතකයන් එක්ක මට ගමේ ඉන්න බැරි වුණා. ඒ හින්දා නැවත අපි වවුනියාවේ 'තාලිකුලම' ගමට ගියා. දැන් මගේ බාලම දුව දහය (10) වසරේ ඉගෙන ගන්නවා. මම කුලී වැඩ කරලා දරුවාට උගන්වනවා. කොහොම හරි මගේ බාලයාට හරි උගන්වන්න ඕන කියන බලාපොරොත්තුව විතරයි මට දැන් ඉතුරු වෙලා තිබෙන්නේ. මට ජීවිතේ ගැන කළකිරිලා ඉන්නේ. ඒත් මේ පොඩි එකී හින්දයි මම දැන් ජීවත් වෙන්නේ. මම පතන්නේ මගේ හතුරෙකුටවත් ඒ වාගේ යුද්ධයකට නැවත මුහුණ දෙන්න අවස්ථාවක් උදා වෙන්න එපා කියලයි. මම කාටවත් ශාප කරන්නේ නෑ. ඒත් මම මටම ශාප කර ගන්නවා. මගේ දරුවන්ගේ මළගම බලන්න මට සිද්ධ වෙච්ච එක ගැන."








