BBC සියයක් කාන්තාවෝ: ලොව වඩාත්ම බලපෑම් සහගත කාන්තාවන් අතරට ගිය ශ්‍රී ලංකාවේ ආශ්චර්යා

Ashcharya Peiris
ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේම පවුලේ අය අත්හැරීමත් සමඟ, මට තනිව ජීවත් වෙන්න සිදු වුණා," - ආශ්චර්යා පීරිස්
    • Author, දැහැමි රණවීර සහ ෂර්ලි උපුල් කුමාර
    • Role, BBC සිංහල

"මගේ දුකට මම ජීවය දුන්නේ නැහැ. මම කවදාවත් අන් අයට දුක කියමින් ඇවිදින්න ගියේ නැහැ. එය මේ සමාජයේ කාන්තාවන් බොහෝ දෙනෙකු සිදු කරන වැරැද්දක්. නමුත් එය මගේ අතින් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට මම මගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න පටන් ගත්තා."

බොහෝ බාධක කම්කටොළු සමඟ ගෙවුණු සිය දිවි මඟ ගැන ආශ්චර්යා පීරිස් බීබීසී සිංහල සේවය සමඟ සිදු කළ කතා බහ එසේ ආරම්භ කළාය.

බීබීසී සේවය මගින් 2019 වසර සඳහා තෝරා ගත් ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළු වූ ආශ්චර්යා පීරිස් ශ්‍රී ලංකාවේ ප්‍රකට මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක මෙන්ම, අන් අය දිරිගැන්වීමේ දේශන පවත්වන තැනැත්තියකි.

සියලු ශාරීරික දුර්වලතා, මානසික පසුබෑම් පසෙකලා ශක්තිමත් කාන්තාවක ලෙස නැගී සිටි ආකාරය ආශ්චර්යා බීබීසී සිංහල සේවයට විස්තර කළාය.

1977 වර්ෂයේ දී කොළඹ නගරයේ උපන් ආශ්චර්යාගේ පියා ගුවන් ඉංජිනේරුවරයෙකු වන අතර, මව දකුණු පළාතේ 'කෝමල' නම් ගම්මානයේ තැනැත්තියකි.

"සාමාන්‍යයෙන් කියන විදිහට මගේ පියා උසස් යැයි සැලකෙන පවුලක කෙනෙක්. මව එවකට දුෂ්කර ගම්මානයක සිටි කෙනෙක්. මම පවුලේ වැඩිමහල් මෙන්ම එකම දියණිය. මට වඩා වසර දොළහක් බාල සහෝදරයෙක් සිටිනවා. "

Ashcharya Peiris
ඡායාරූප ශීර්ෂ වැකිය, ආශ්චර්යා සිය සැමියා සමඟ

"බෝම්බ ප්‍රහාරයෙන් දෑස් නොපෙනී ගිය පසු මගේම පවුලේ සියලු දෙනා මට වෙනස් කොට සලකන්න ගත්තා. ඔවුන් මාව සම්පූර්ණයෙන් අත්හැරියා. ඊට පසු මම ජීවිතයේ අනේක දුක් කම්කටොළු වින්දා," ආශ්චර්යා පැවසුවාය.

රැකියාව අවසන් කර නිවසට යන අතරමග 2000 වර්ෂයේ දී රාජගිරියේදී සිදු වූ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී තුවාල ලැබූ ආශ්චර්යා පීරිස්ට පසුව සිය පෙනීම මෙන්ම ගන්ධය දැනීම ද අහිමි විය. එමෙන්ම වම් පාදයට බරපතල හානි සිදු වූ බැවින් බොහෝ කාලයක් රෝද පුටුවකට වී සිටීමට ආශ්චර්යාට සිදු විය.

එම ප්‍රහාරයෙන් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.

"මගේම පවුලේ අය අත්හැරීමත් සමඟ, මට තනිව ජීවත් වෙන්න සිදු වුණා. මට තනිකම, කාංසිය, වෙනස් කොට සැලකීම සහ ලැජ්ජාව වැනි සියලු කාරණා දැඩි ලෙස අත්විඳීමට සිදු වුණා. මිල මුදල්, ආරක්ෂාව ඇතුළු හැම දෙයකින්ම මට ගැටලු මතු වුණා."

"මේ ප්‍රශ්න එක්ක මට ඉතිරිව තිබුණේ තීරණ දෙකයි, එකක් ජීවිතය ඉදිරියට ගෙනියන්න, අනෙක ජීවිතය නැති කරගන්න. නමුත් මම තීරණය කළා ජීවත් වෙන්න. හැමෝම මාව ඉවතට දැමුවා. නමුත්, මේ ලෝකෙට මම මනුස්සයෙක් විදහට ආවා නම් එහි අගය තේරෙන්නේ මට විතරයි," ඇය පැවසීය.

Ashcharya Peiris
ඡායාරූප ශීර්ෂ වැකිය, "මට ඉතිරිව තිබුණේ තීරණ දෙකයි, එකක් ජීවිතය ඉදිරියට ගෙනියන්න, අනෙක ජීවිතය නැති කර ගන්න."

බාධක මධ්‍යයේ ජීවිතය ගලා යන අතර ආශ්චර්යාට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෝස්‌තර නිර්මාණ තරගයක් ගැන දැනගන්නට ලැබිණි. ඒ සඳහා අයදුම් කළ ඇයට දෑස් පෙනෙන අනෙක් තරගකරුවන් හා කරට කර තරග වැදීමට සිදු විය.

එහි සිටි දෑස් නොපෙනෙන එකම තරගකරුවා ආශ්චර්යා වූ අතර, ඇයට තරග නීති රීතිවල කිසිදු වෙනසක් සිදු නොවීය.

"ඔවුන් මට කිසිදු විශේෂත්වයක් දැක්වූයේ නැහැ. නීති රීති මට වෙනස් වුණෙත් නැහැ. එයයි මෙහි තිබුණ අභියෝගය," ඇය පැවසුවාය.

අත් යන්ත්‍රයකින් වියන ලද රෙදි වර්ගයක් සහ පොල්කටු භාවිතයෙන් සිය නිර්මාණය නිම කළ ආශ්චර්යා තරගයේ අවසාන වටයට තේරුණ අතර, 'නැගී එන මෝස්තර් නිර්මාණ ශිල්පිනියට' හිමි සම්මානය දිනා ගත්තාය.

මේ වන විට තමන්ගේම මෝස්‌තර නිර්මාණ ආයතනයක් පවත්වාගෙන යන ඇය එම කේෂ්ත්‍රය තුළ තවත් සම්මාන රැසකට හිමිකම් කීය.

Ashcharya Peiris

ඡායාරූප මූලාශ්‍රය, AshcharyaPeiris

ඡායාරූප ශීර්ෂ වැකිය, විවිධ ආයතන සහ පාසල්වල ඇය අන් අය දිරිගැන්වීමේ දේශන පවත්වන්නීය.

"මම රෙදි වර්ග තෝරා ගන්නේ ස්පර්ශ කිරීමෙන්. ඇස් පෙනෙන කාලයේ පාටවල මතකයන් අනුව මගේ සිතේ ඇඳෙන මෝස්‌තර නිර්මාණය කරනවා. ඒ විතරක් නෙමෙයි මම ගෘහණියක්. ගෙදර සියලු වැඩ කෙරෙන්නේ මගේ අතින්. ඒ දේවල්වලට මගේ සැමියාගෙන් ලොකු සහයක් ලැබෙනවා," ඇය පැවසීය.

උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට තේරුණත්, එහි අධ්‍යාපනය නොලැබීමට හේතුව ආශ්චර්යා මෙසේ විස්තර කළාය.

"මට පොඩි කාලයේ ඉඳන් සියලු භෞතික සැප සම්පත් ලැබුණා. නමුත් අපේ ගෙදර ආදරය තිබුණේ නැහැ. එකිනෙකා ඒ අයගේ වැඩ ගැන විතරයි හිතුවේ. ඉතින් ආදරය සොයාගෙන යෑම නිසා මම විශ්වවිද්‍යාලයට යන එක නතර වුණා. එය ජීවිතයේ මම ගත්ත අනුවණ තීරණයක්."

"මම හිතුවා ඒ කැපකිරීම හොඳ දෙයක් සහ එයට අගයක් ලැබෙයි කියලා. මට දැඩිව අවශ්‍ය වෙලා තිබුණ ආදරය මට ඒ වෙලාවේ ලොකු වුණා. නමුත් මගේ ජීවිතය නැවත නැගිට ගන්න බැරි තරමට වැටුණු වෙලාවේ ඒ ආදරය මාව දාලා යන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ."

Ashcharya Peiris

ඡායාරූප මූලාශ්‍රය, AshcharyaPeiris

ඡායාරූප ශීර්ෂ වැකිය, 'නැගී එන මෝස්තර් නිර්මාණ ශිල්පිනිය' ලෙස සම්මාන ලබමින්

"මම එදා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා නම් අද නීතිඥවරියක් නැත්නම් වෘත්තීයවේදිනියක්. නමුත් මම පසු තැවෙන්නේ නැහැ. මම මුහුණ දුන්න දුක් කම්කටොළු වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් විදිහට හිතනවා," යැයි ඇය පැවසුවාය.

"කවදාවත් තමන්ගේ සිහින අන් අය වෙනුවෙන් අත් හරින්න එපා. මොකද ඔබ දැඩි ලෙස පීඩාවට පත් වුණ වෙලාවක ඒ අය සිහිනෙන්වත් අත දෙන්න එන්නේ නැහැ," යැයි තම ජීවන අත්දැකීම් ඔස්සේ ඇය උපදෙසක් ලබා දුන්නාය.

මවක වන ආශ්චර්යාගේ එදිනෙදා වැඩකටයුතු සියල්ලට සහය දෙන්නේ ඇයගේ ආදරණීය සැමියාය. රාජකාරී ක්‍රියාවක නියැලෙන අතර හමු වූ ඔහු සහ ඔහුගේ පවුලේ අය ඇයට දැඩි ආදරයක්, සෙනෙහසක් දක්වනවා යැයි පවසන විට ඇයගේ මුහුණ සිනහවකින් එළිය විණි.

"ජීවිතයේ යම් දේවල් නැති වුණත්, කවදාවත් ඒ ගැන පසුතැවිලි වෙන්නේ නැතුව ජීවිතයට ධෛර්යවන්තව මුහුණ දෙන කෙනෙක් විදිහට ඔහු මාව දැකීම නිසා තමයි අපි අතර බැඳීමක් ඇති වුණේ. "

"ඔහු මට දක්වන්නේ අනුකම්පාවක් නෙමෙයි. අපි දෙන්නාගේ ගතිගුණ, කැමති අකමැති දේ සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් අපේ ආදරය ඇතුළේ තිබෙන්නේ එකිනෙකාට ගෞරව කිරීමක් සහ ඇහුන්කන් දීමක්."

Ashcharya Peiris

ඡායාරූප මූලාශ්‍රය, AshcharyaPeiris

ඡායාරූප ශීර්ෂ වැකිය, "මම සාමාන්‍යය නොවී අසාමාන්‍ය වැඩ කළ කෙනෙක්"

"සමාජයෙන් අපිට ප්‍රශ්න එල්ල වෙනවා. සමහරු අහනවා මගේ සැමියාගෙන් ඔයා සම්පූර්ණ කෙනෙක් වෙලා මේ වගේ අඩුපාඩු තිබෙන කෙනෙක් සමඟ විවාහ වුණේ ඇයි කියලා. නමුත් මේ සියලු ප්‍රශ්න අපේ බැඳීම හමුවේ නැති වෙලා යනවා," ඇය පැවසුවාය.

ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට තේරීම ගැන ද ආශ්චර්යා සිය අදහස් දැක්වූවාය.

"මේ ගැන මට දැනෙන්නේ ඉතා නිහතමානී ආඩම්බරයක්. මෙයින් ඉහළට ගියේ මම ඉපදුණ මාව පෝෂණය කරපු මගේ රට. මෙය මගේ ජීවිතයේ තවත් අපූරු සන්ධිස්ථානයක්. මගේ කතාව නොදන්න සමහරු අහනවා ඔයාව කොහොම ද මෙයට තේරුණේ කියලා."

"මම 2014 මෝස්‌තර නිර්මාණ තරගය දිනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ පළමුවන දෘශ්‍යාබාධිත මෝස්‌තර නිර්මාණ ශිල්පිනිය බවට පත් වුණා. ඒ වගේම ලෝකයේ දැනට ජීවත් වන සම්මානයට පාත්‍ර වූ තුන්වෙනි දෘශ්‍යාබාධිත මෝස්‌තර නිර්මාණ ශිල්පියාත් මම."

"මම සාමාන්‍යය නොවී අසාමාන්‍ය වැඩ කළ කෙනෙක්," බාධක මැඩගෙන සිය දිවි ගමන ඉදිරියට ගෙන යන අතරම අන් අය සමඟ සිය අත්දැකීම් බෙදා ගනිමින් ඔවුන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් ද ඇය සිදු කරන්නීය.

තවත් තොරතුරු: