සිංහරාජ මාර්ග සංවර්ධනයට යුද හමුදාව යෙදවීම: ලංකාගමට තිබුණු පාරත් නැති වෙයිද?

සමාජ ජාල තුළ මේ දිනවල හුවමාරු වන ලංකාගම-නෙළුව මාර්ගයට හානි සිදුව ඇතැයි දැක්වෙන ඡායාරූප
ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ ජාල තුළ මේ දිනවල හුවමාරු වන ලංකාගම-නෙළුව මාර්ගයට හානි සිදුව ඇතැයි දැක්වෙන ඡායාරූප
    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල

පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් (EIA) හෝ විද්‍යාත්මක සහ තාක්ෂණික මෙවලම් (Tools) භාවිත නොකර ලංකාගම-නෙළුව මාර්ගය සංවර්ධනය කිරීම නිසා පරිසර හානියට අමතරව මහජන මුදල් ද අපතේ ගොස් ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති.

පසුගියදා ඇදහැළුණු වර්ෂාවත් සමග මෑතකදී පුළුල් කර සංවර්ධනය කෙරුණු ලංකාගම-නෙළුව මාර්ගයට හානි සිදුව ඇතැයි දැක්වෙන ඡායාරූප මේ වන විට සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.

එවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ පිළිගත් ක්‍රමවේද සහ ප්‍රමිතියෙන් බැහැරව සිංහරාජ ලෝක උරුම සංවේදී කලාපය මැදින් වැටී ඇති මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමෙන් විශාල පරිසර හානියක් සිදු විය හැකි බවට පරිසරවේදීන් විසින් පෙර තියා අනතුරු අඟවනු ලැබ තිබූ පසුබිමකදීය.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ගණනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබිණි.

මාර්ගයට සිදුව ඇතැයි පැවසෙන හානිය සහ ඒ සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳ ප්‍රතිචාරය ලබා ගැනීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ ද එය සාර්ථක නොවීය.

ලංකාගම-නෙළුව මාර්ගයේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු සිකුරාදා (නොවැම්බර් 13) එහි සංචාරයක නිරත වී තිබිණි.

එහිදී ෆේස්බුක් ඔස්සේ සජීවීව අදහස් දක්වමින්, මාර්ගයට සිදුව ඇතැයි පැවසෙන හානිය සම්බන්ධයෙන් පළ වන වාර්තා අමාත්‍යවරයා විසින් හඳුන්වනු ලැබුවේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අප්‍රසාදයට ලක් වන ආකාරයෙන් නිර්මාණය කළ ප්‍රවෘත්තියක්‌ වශයෙනි.

"මුහුණු පොතේ දාල තිබෙන දේවල්වල සම්පූර්ණ බොරුවක් තිබෙන්නේ. මේ පාර හදල ඉවර නැහැ තාම. කාණු පද්ධතිය දාලා ඉවරත් නැහැ." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර කළේය.

පසුගිය අගෝස්තු මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ සටහනක්
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය අගෝස්තු මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ සටහනක්

පරිසරවේදීන්ගේ විරෝධය හමුවේ තාවකාලිකව නතර කෙරුණු ලංකාගම-නෙළුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් යළි ක්‍රියාත්මක වූයේ එමගින් කිසිදු පරිසර විනාශයක් සිදු නොවන බවට ඔහු ජනතාව ඉදිරියේ දුන් වාචික පොරොන්දුවත් සමගය.

මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි.

කෙසේ නමුත් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් නොමැතිව අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙන් පරිසර හානියක් සිදු නොවන බවට සහතිකයක් ලබා දෙන්නේ කුමන පදනමකින් දැයි පරිසරවේදීහු එවක ප්‍රශ්න කළහ.

2px presentational grey line
2px presentational grey line

පසුගිය අගෝස්තු මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාගම මාර්ගය පිළිබඳ සොයා බැලීම සඳහා එහි සංචාරය කළ අවස්ථාවේ ඔහු සමග අදහස් හුවමාරු කරගත් ඇතැමෙකු විසින් පරිසරවේදීන් විවේචනයට ලක් කරනු ලැබිණි.

ජනාධිපතිවරයා ලංකාගම සංචාරය කළ අවස්ථාවේ පරිසරවේදීන් විවේචනයට ලක් කරමින් එහි සිටි පුද්ගලයෙකු අදහස් පළ කළේය
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරයා ලංකාගම සංචාරය කළ අවස්ථාවේ පරිසරවේදීන් විවේචනයට ලක් කරමින් එහි සිටි පුද්ගලයෙකු අදහස් පළ කළේය

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ ජයන්ත විජේසිංහ පවසා තිබුණේ පරිසරවේදීන්ගේ හඬට කන් දුන්නේ නම් මෙවැනි හානියක් සිදුවීම වළකා ගත හැකිව තිබුණු බවය.

Neluwa lankagama

මේ අතර අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය දියත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් ලබා ගෙන ඇත්නම් ඒවා තමා වෙත යොමු කරන ලෙස යුනෙස්කෝ සංවිධානය ඔක්තෝම්බර් 09 වෙනිදා නිකුත් කළ විවෘත ලිපියක දැක්විණි.

'යුද වදින අයුරින් පරිසරයත් සමග ගැටෙන්න බැහැ'

ශ්‍රී ලංකා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, ලංකාගම-නෙළුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මගින් සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරණ කලාපයට (Buffer zone) සිදුව ඇතැයි පැවසෙන හානිය සම්බන්ධයෙන් යුනෙස්කෝ මූලස්ථානය වෙත කරුණු වාර්තා කළ පරිසර සංවිධානයකි.

2px presentational grey line
2px presentational grey line

එහි ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ නිසි අධ්‍යයනයකින් තොරව, අදාළ විෂයේ ප්‍රවීණයන්ගේ මැදිහත්වීමක් නොමැතිව "හමුදාව සහ යුද්ධයක් කරන ආකාරයට පරිසර පද්ධතියක් සමග ගැටීමේ ප්‍රතිඵල" මේ වන විට ඇස් ඉදිරියේම දක්නට ඇති බවය.

"වැසි වනාන්තරයක් අසල ඇති මාර්ගයක තත්ත්වය වෙනස්. සාමාන්‍ය පාරක් හදනවා වගේ නෙමෙයි, තාක්ෂණික ක්‍රම යොදාගෙන තමයි පාරක් නිර්මාණය කරන්න අවශ්‍ය. ඒ නිසා තමයි පරිසරවේදීන් වශයෙන් අපි කිව්වේ පරිසර තක්සේරු වාර්තාවක් ලබා ගන්න සහ තාක්ෂණික ඇගයීමක් කරලා මේ පසේ ස්වභාවය අඳුරගෙන පාරක් හදනවා නම් හදන්න කියලා."

"මොකද සිංහරාජය වැනි වැසි වනාන්තරයක ප්‍රාථමික වනාන්තරයක වැඩි වශයෙන් තිබෙන්නේ අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ කොල වැටිලා වැටිලා දිරාපත් වෙච්ච හියුමස් පස් තට්ටුවක්. ඒ මතුපිට පස් තට්ටුව හයිය නැති පස් තට්ටුවක්. ඒ නිසා එවැනි පස් තට්ටුවක් මතට තාර දැම්මම වෙන්නේ මේ පස් තට්ටුවම ගහගෙන ගිහින් වෙනත් තැනක තැන්පත් වීම. කරන්න තිබ්බ හොඳම ක්‍රියාමාර්ගය තමයි පරිසර සංරක්ෂණ ක්‍රමවේදයකට පාර නිර්මාණය කිරීම."

සෙතිල් මුහන්දිරම් ෆේස්බුක් හි තැබූ සටහනක්
ඡායාරූප ශීර්ෂ වැකිය, සෙතිල් මුහන්දිරම් ෆේස්බුක් හි තැබූ සටහනක්

ඇමේසන් වනයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 3,500 ක් පමණ වන අතර සිංහරාජයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 3,000 - 6,000 දක්වා අගයක් ගනු ලබයි.

ලංකාගම වැසියන්ට තිබුණු මාර්ගයත් නැති වෙයිද?

ඉදිරි වර්ෂා කාලවලදී ලංකාගම-නෙළුව මාර්ගය සම්පූර්ණයෙන් විනාශ වීමේ අවදානමක් පවතින බවට ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් අනතුරු අඟවයි.

"පාරවල් හරහා විශාල වශයෙන් ජලය ගලා යනවා. ඒ නිසා මේ මාර්ගය සම්පූර්ණ වශයෙන්ම ගිං ගඟට ගසාගෙන යාමේ හැකියාවක් පවතිනවා. මොකද දැඩි බෑවුම් වශයෙන් තමයි යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මේ පාර හදලා තිබෙන්නේ. ඊට අමතරව අංශක 90 ට වගේ කපලා තිබෙන පැති බැමි ගැලවෙමින් පාරට වැටෙන එක වෙන්නේ. තිබුණු මාර්ගයත් ලංකාගම මිනිස්සුන්ට නැති වෙන හැඩක් තමයි දැන් තිබෙන්නේ."

Sinharaja road development project

ඡායාරූප මූලාශ්‍රය, Seth Muhandiram

ඡායාරූප ශීර්ෂ වැකිය, ලංකාගම-නෙළුව මාර්ග සංවර්ධන කටයුතු අතරතුර

"ඒ නිසා මේ තිබෙන්නේ පරිසරයත් එක්ක යුද්ධයක් නොවන වග තේරුම් ගැනීම අවශ්‍යයි. සතුන්, පරිසර පද්ධති ගැන පුළුල් ප්‍රවේශයකින් (Holistic approach) බලන්න හමුදාවේ ඉංජිනේරු බලකායට ලොකු හැකියාවක් තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒ නොහැකියාව තමයි මේකෙන් පෙනෙන්නේ. එවැනි ප්‍රවේශයකින් බලන්න පුළුවන් කණ්ඩායම් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්නවා, විශ්වවිද්‍යාලවලත් ඉන්නවා. ඉන් පිටතත් ඉන්නවා."

"සංවේදී කලාපයක යම් සංවර්ධන කටයුත්තක් කරනවා නම් ඒ සියලු දෙනාගේම අදහස් සලකා බැලිය යුත්තේ මේ නිසයි. එසේ නොකළ නිසා අපට පළමුව සිංහරාජයේ සැලකිය යුතු සත්ව සහ ශාක කොටස් අහිමි වුණා. දෙවනුව ඒ මාර්ගය හදන්න යොදා ගත්ත ජනතා මුදල් අහිමි වුණා."

"ඒ නිසා යුද්ධ කරනවා වගේ පරිසරයත් එක්ක සංවර්ධන ක්‍රියාවලි කරන්න බැහැ කියන එක නැවත මතක් කළ යුතුයි. එසේ කරන්න උත්සාහ කළ සෑම තැනකදීම මේ වගේ ජනතා මුදල් සහ පරිසර පද්ධති විනාශ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක උදාහරණයක් විදිහට අරගෙන ඉදිරි වැඩ කටයුතු කරද්දීත් රජය සහ අදාළ නිලධාරීන් මේ ගැන අවධානය යොමු කිරීම වැදගත්. මොකද අපට පාරවල් හදන්න පුළුවන්, නමුත් පරිසර පද්ධති නැවත නිර්මාණය කරන්න බැහැ." යනුවෙන් ශ්‍රී ලංකා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති සිංහරාජය ආසන්නයේ පිහිටි ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගැනීමත් සමග එය උණුසුම් මාතෘකාවක් බවට පත් විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ බලධාරීන් දිගින් දිගටම කියා සිටියේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිසා පරිසරයට හානියක් සිදු නොවන බවය.

එමෙන්ම ලංකාගම වැසියන් මුහුණ දී ඇති දුෂ්කරතා දෙස සංවේදීව බැලිය යුතු බවට ද එවක අදහස් ඉදිරිපත් විය.

මේ ගැනත් කියවන්න: