සිංහරාජය සහ ලංකාගම මාර්ගය: යුනෙස්කෝව ඉල්ලූ තොරතුරු ලබා දුන් බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති

- Author, සුනෙත් පෙරේරා
- Role, BBC සිංහල
සිංහරාජ ලෝක උරුමය ආශ්‍රිත ලංකාගම-නෙළුව මාර්ගය සංවර්ධනය කිරීමේදී ජාත්‍යන්තර මාර්ගෝපදේශ උල්ලංඝනය වී නොමැති බව පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත දන්වා ඇතැයි එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි.
ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ඒ බව කියා සිටියේ අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය කර ඇති විමසීමට අදාළව "පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දී ඇති වාර්තා" උපුටා දක්වමිනි.
සිංහරාජ රක්ෂිතයේ "විශ්වීය වටිනාකමට" අහිතකර ලෙස බලපෑ හැකි, ඒ ඔස්සේ වැටී ඇති මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් තෙවෙනි පාර්ශවීය තොරතුරු ලැබී ඇතැයි යුනෙස්කෝ සංවිධානය පසුගිය ඔක්තෝම්බර් 09 වෙනිදා නිකුත් කළ විවෘත ලිපියක දැක්විණි.
ලෝක උරුම සම්මුතිය ක්‍රියාවට නැංවීම සඳහා වන මෙහෙයුම්වලට අදාළ මාර්ගෝපදේශ (Operational Guidelines) අනුව, එසේ ලැබී ඇති තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කර ගනු වස් ඒවා ශ්‍රී ලංකාවේ සිටින සිය නියෝජිතයන් වෙත යවා ඇති බවත් තවමත් ඒ පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.
මේ වන විට ඊට ප්‍රතිචාර දක්වා යුනෙස්කෝ මූලස්ථානය වෙත තොරතුරු යවා ඇති බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසිය වෙත තහවුරු කළේය. කෙසේ වුවත් එම තොරතුරු ලබා දුන් දිනය පිළිබඳ ඔහු නිශ්චිත සඳහනක් නොකළේය.
මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය ඉල්ලා ඇති තොරතුරු ලබා නොදුනහොත් එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බවට පරිසර සංවිධාන පසුගිය සතියේ අනතුරු අඟවා තිබිණි.
"ලෝක උරුම දේපලක්" තුළ හෝ ඉන් පිටත සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට පෙර පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA), උරුම බලපෑම් තක්සේරු වාර්තාවක් සහ / හෝ උපායමාර්ගික පාරිසරික තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බව සිය මාර්ගෝපදේශ තුළ විශේෂයෙන් සඳහන් කර ඇති බව යුනෙස්කෝ සංවිධානය නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් විය. එවැනි අධ්‍යයනයක් හෝ තක්සේරුවක් කර ඇත්නම්, මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට පෙර එම තොරතුරු වහා ඉදිරිපත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවත් එම ලිපියේ දැක්විණ.
ශ්‍රී ලංකා බලධාරීන්ගේ විග්‍රහය

ඡායාරූප මූලාශ්‍රය, Seth Muhandiram
ලංකාගම-නෙළුව මාර්ගයේ, නෙළුව සිට මාදුගැටේ දක්වා ඇති කිලෝමීටර් 4.6 ක කොටස "සිංහරාජ රක්ෂිතයට අයත් නොවන බැවින්" එම කොටස පුළුල් කර කාපට් දැමීම සම්බන්ධයෙන් "ගැටලුවක් මතු නොවන බව" පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලබා දී ඇති වාර්තා උපුටා දක්වමින් යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත සඳහන් කළේය.
මාර්ගයේ ඉතිරි කිලෝමීටර් 8.9 ට අයත් වාරුකන්දෙනිය-ලංකාගම අතර ස්ථාන තුනක් සිංහරාජ වන රක්ෂිතය මැදින් වැටී ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි දුර මීටර් 420, 630 සහ 205 වශයෙන් වූ එම කොටස් තුන තුළ මාර්ගය පුළුල් කිරීමක් හෝ කාපට් දැමීමක් සිදුව නොමැති බව ඔහු පවසයි.
එහෙත් මීට කලකට පෙර සංවර්ධනය කරන ලද එම කොටස් තුනට අයත් කොන්ක්‍රීට් මාර්ගයේ කැඩී බිඳුණු ස්ථාන සහ බෝක්කු පමණක් පිළිසකර කර ඇති බව ඔහු කියා සිටියේය.


මාර්ගයේ, සිංහරාජ ලෝක උරුමය මැදින් වැටී ඇති කොටස් තුන තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු වී නොමැති බැවින් ලෝක උරුම සම්මුතිය ක්‍රියාවට නැංවීම සඳහා වන මෙහෙයුම්වලට අදාළ මාර්ගෝපදේශ (Operational Guidelines) කඩ වී නොමැති බව ශ්‍රී ලංකා බලධාරීන්ගේ තර්කය වී තිබේ.
"කොටස් තුනට අයත් මීටර් 1,255 තුළ කොහෙත්ම වෙනසක් කරන්න බැහැ. කිසිම ගසක් කපන්න බැහැ. පාරවල් පළල් කරන්න බැහැ. කාපට් කරන්න බැහැ කියන නියෝගය දීලා තමයි වැඩ කරගෙන යන්නේ," යනුවෙන් ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත සඳහන් කළේය.
"ඒ නිසා මේක ලෝක උරුමයෙන් ඉවත් වෙනවා කියන කාරණය වෙන්නේ නැහැ. එහෙම වෙන්න හේතුවක් ඇත්තේම නැහැ."
'සංවේදී කලාපයත් සිංහරාජ ලෝක උරුමයේ කොටසක්'

ඡායාරූප මූලාශ්‍රය, Seth Muhandiram

ඡායාරූප මූලාශ්‍රය, Seth Muhandiram
ලංකාගම-නෙළුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මගින් සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරණ කලාපයට (Buffer zone) හානි සිදුවන බව ඒ සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය වෙත කරුණු වාර්තා කළ පරිසර සංවිධානයක් වන ශ්‍රී ලංකා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ප්‍රේරණ කලාපයත් සිංහරාජ ලෝක උරුම දේපල යටතට ගැනෙන බැවින් එහි සිදු කෙරෙන ඕනෑම සංවර්ධන කටයුත්තක් අදාළ මාර්ගෝපදේශ යටතේ සිදු විය යුතු බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවයට පැවසීය.
"මේ පාර සිංහරාජ ප්‍රේරණ කලාපයට අයත් නිසා අනිවාර්යයෙන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතුයි. නමුත් එවැන්නක් සිදු කර නැහැ. ප්‍රේරණ කලාපයේ සිදුව ඇති හානිය යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට අදාලයි. මොකද එය සිංහරාජයට සෘජුව සහ වක්‍රව බලපාන නිසා," යනුවෙන් ඔහු සඳහන් කළේය.


සිංහරාජය මැදින් වැටී ඇති ඉහත කී ස්ථාන තුන ද පුළුල් කර සංවර්ධනය කිරීම ආණ්ඩුවේ මූලික අරමුණ වූ නමුත් පරිසරවේදීන් වෙතින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඉන් වැළකී සිටීමට ආණ්ඩුවට බල කෙරුණු බව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවසීය.
පරිසරවේදීන්ගේ විරෝධය හමුවේ තාවකාලිකව නතර කෙරුණු ලංකාගම-නෙළුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් යළි ක්‍රියාත්මක වූයේ එමගින් කිසිඳු පරිසර විනාශයක් සිදු නොවන බවට ඔහු ජනතාව ඉදිරියේ දුන් වාචික පොරොන්දුවත් සමගය.
එහෙත් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් නොමැතිව අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙන් පරිසර හානියක් සිදු නොවන බවට සහතිකයක් ලබා දෙන්නේ කුමන පදනමකින් දැයි පරිසරවේදීහු ප්‍රශ්න කරති.
'සහතික දෙන්නේ කුමන පදනමකින්ද?'

මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ වීමෙන් පසු පරිසරවේදීන් කණ්ඩායමක් සමග එහි ගිය සෙතිල් මුහන්දිරම් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ මාර්ගය පුළුල් කිරීමේ දී සිංහරාජ ලෝක උරුම රක්ෂිතය ආශ්‍රිත සංවේදී කලාපයේ පරිසර විනාශයක් සිදුව ඇති බව නිරීක්ෂණය කළ බවය.
"මේක වැසි වනාන්තර පද්ධතියක්. වැස්සෙන් ලැබෙන ජලය ගිං ගඟ වගේ ජල පෝෂක කලාපවලට තමයි ගලා යන්නේ. නමුත් හරියට සොයන්නේ බලන්නේ නැතිව මාර්ගයේ ඉවුරු කපලා, පාර පළල් කරලා තිබෙනවා. ඒ ස්ථානවල ජලය ගලා යනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා මේ සංවේදී කලාපය තුළ ලොකු වැස්සකදි නාය යාමේ අවදානමක් තිබෙනවා. මොකද සාමාන්‍යයෙන් ඇමේසන් වනාන්තරයට වැටෙන්නෙත් මිලිමීටර් 3,500 ක වගේ උපරිම වර්ෂාපතනයක්. නමුත් සිංහරාජයට වසරකදි මිලිමීටර් 6,000 ක පමණ විශාල ජල පරිමාවක් වැස්සෙන් ලැබෙනවා. මේ ජල ධාරිතාව දරා ගන්න සංවේදී කලාපයට පුළුවන් වෙන්න ඕනි," යනුවෙන් සෙතිල් මුහන්දිරම් සඳහන් කළේය.
"සංවේදී පරිසර පද්ධතියක් ඇතුලේ අත්තනෝමතික ලෙස කිසිම සංවර්ධන කටයුත්තක් කරන්න බැහැ කියන්නේ ඒකයි. මොකද මේ වනාන්තර ඇතුලේ තිබෙන ශාක සහ සත්ව ප්‍රජාව කිසිම විදිහකට වෙන් කරගෙන නැහැ, මම ඉන්නේ සිංහරාජ රක්ෂිතයෙද නැතිනම් සංවේදී කලාපයේ ද කියල."

ඡායාරූප මූලාශ්‍රය, Seth Muhandiram
සමස්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය පෙරට යාමට පෙර, ඒ සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගෙන නොමැති පසුබිමක ඉන් සිදුව ඇති හානිය පිළිබඳ සහතිකයක් ලබා දෙන්නේ කුමන පදනමකින් දැයි සෙතිල් මුහන්දිරම් ප්‍රශ්න කරයි.
"ප්‍රශ්නය තිබෙන්නේ හානිය කියන එක අපිට නිශ්චිතවම තහවුරු කරන්න බැහැ. හිතන්න පාර පළල් කරන කොට අපි එක ගහක් අයින් කරනවා. ඒ අයින් කරපු ගහ හෝ පැලෑටිය මොකක්ද කියල අපි දන්නේ නැහැ. සිංහරාජය කියන්නේ තමන්ටම ආවේනික ශාක සහ සත්ව ප්‍රජාවක් ඉන්න තැනක්. එහෙම තැනක හානියකින් තොරව යම් ක්‍රියාවක් සිදු කරන බව සහතිකවම කියන්න පුළුවන් කමක් නැහැ,"
"සමහර තැන්වල ගස් කොලන් කැපිල තිබෙනවා අපි දැක්කා. මේ පාර දෙපස මොනවා තිබ්බද කියන දේ දැන් කාටවත් තහවුරු කරන්න බැහැ. ඒ තැන්වල ලයිකන විශේෂයක්, නැතිනම් පාසි විශේෂයක් තිබිලා කලින් හඳුනගෙන තිබුණේ නැති නම් ඒවා සැඟව යන්න අවස්ථාවක් තිබෙනවා. හේතුව ඒවා කවුරුත් සොයගෙනත් නැහැ, කවුරුත් මේ සංවේදී කලාපය ගැන නිසි අධ්‍යයනයක් කරලත් නැහැ. ඒ නිසා වනාන්තරයටත්, ජෛව පද්ධතියටත් කියන මේ දෙකටම හානියක් සිදුව තිබෙන්න පුළුවන්."
"කාටවත් කියන්න බැහැ හානියක් නොවුණා කියලා. මොකද එහෙම හානියක් වී තිබුණු ස්ථාන අපි දැක්කා. සමහර ස්ථානවල අපි ඡායාරූප ලබා ගත්තා," යනුවෙන් සෙතිල් මුහන්දිරම් වැඩිදුරටත් පැවසීය.
මේ ගැනත් කියවන්න:










