වනාන්තර විනාශය: විල්පත්තුව මුස්ලිම් විරෝධයක් ද? තාප්ප සිතුවම් කළ තරුණයන් රැවටුණා ද?

- Author, සුනෙත් පෙරේරා
- Role, BBC සිංහල
"රටක ලොකුම ඛේදවාචකය තරුණ පරපුර රැවටිල්ලට ලක්වීමයි. තාප්පවල පරිසරය ඇඳපු තරුණ පිරිස සිංහරාජය ගැන මීක් නැහැ,"
"ප්‍රොටෙක්ට් විල්පත්තු කියලා ඒ දවස්වල කෑ ගහපු යාළුවෙකුගෙන් මම ඇහුවා, මචං සිංහරාජ කැලේ පාරක් කපනවා...අභයභූමියකුත් ඩෝසර් කරලා නේද කියලා. බලපන් සෞදි අරාබිය දියුණු වෙලා තියෙන්නේ ගස් තිබිලද කියලා මේ යකා මගෙන් අහපි,"
"ස' ආපු ගමන් තාප්පවල අලි ඇත්තු, කොටි වලස්සු ඇඳපු එක හොඳයි. මොකෝ තව අවුරුදු පහ හයකින් ඒ සත්තු කැලේ බලන්න කියලැ..."

ඉහත දැක්වෙන්නේ මෑත සති කිහිපයේ රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ වන විනාශයන් සම්බන්ධයෙන් ෆේස්බුක් හි තබා තිබූ සටහන් කිහිපයකි.
විල්පත්තුවේ සිදු වුණි යයි පැවසුණු වන විනාශය මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව පැවති සමයේ මහා ජන මතයක් ගොඩ නැගිණි. සමාජ ජාල ඔස්සේ සිය හඬ අවදි කරමින් ඊට එක් වූ දස දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් පරිසරය සුරකිනුවස් සමාජ ජාල ඔස්සේ පෙළ ගැසුණහ. 2019 ජනාධිපතිවරණ සමයේදී පරිසරය සුරැකීම සහ වන විනාශ උණුසුම් මාතෘකා බවට පත් වෙද්දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගත් සැණින් වන විනාශයේ ආදීනව කියන සිතුවම් ද නගර ප්‍රාකාර මත පින්තාරු විය.
"ලොව පුරා සිදුවන පරිසර විනාශයේ ප්‍රතිවිපාක ලෙස නියඟයෙන් හා ගංවතුරෙන් එකවිට බැට කන ජාතියක් බවට අප පත් වී ඇති බැවින් මේ සුන්දර දිවයින යළිත් හරිත වර්ණයෙන් බබලන අනාගත ලෝකයේ තිරසාර සංවර්ධනයේ පරමාදර්ශය බවට පත් කිරීමේ වගකීම ද අපට පැවරී තිබේ," යනුවෙන් 'ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු පිටුවේ සඳහන් වේ.
එම ප්‍රකාශයේ "දස වැදෑරුම් ප්‍රතිපත්ති" අතර "තිරසර පරිසර කළමනාකරණය" සඳහා ද ඉඩක් වෙන් වී ඇති අතර "තිරසර පරිසර ප්‍රතිපත්තියක්" ලෙස නම් කර ඇති එහි 08 වෙනි කොටසේ පරිසරය සුරැකීමට ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, presidentsoffice.gov.lk

2019 නොවැම්බර් 18 පැවති ජනාධිපතිවරණයෙන් පසු දේශපාලන අනුග්‍රහය ඇතිව ඇතැම් වන විනාශයන් සිදුව ඇති බවට පරිසරවේදීන් චෝදනා කරන්නේ මෙවැනි පසුබිමක් තුළදීය.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය හා ඊට යාබදව පිහිටි ඉඩම් අක්කර 1500 ක 'කෝමාරිකා' වගා ව්‍යාපෘතියක් දියත් කිරීම සහ සිංහරාජ වන රක්ෂිතය මැදින් ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම මෙන්ම ආනවිලුන්දාව, වනාතවිල්ලුව සහ කල්පිටිය ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුව ඇති පරිසර විනාශයන් ගණනාවක් ඒ අතර ප්‍රධාන වේ.
විල්පත්තුව මුස්ලිම් විරෝධයක් ද?
පසුගිය වසරවල පරිසරය වෙනුවෙන් පෙනී සිටි තරුණ පිරිස් සහ සමහරක් දේශපාලනඥයන් ඉහත කී වන විනාශයන් ඉදිරියේ "මුනිවත රැකීම" තුළ විල්පත්තුව සම්බන්ධයෙන් පැවත ඇත්තේ හුදු මුස්ලිම් විරෝධයක් සහ දේශපාලනික අභිලාශයක් දැයි ඇතැමෙක් ප්‍රශ්න කරති.

ඡායාරූප මූලාශ්‍රය, Awantha Artigala

"යුද්ධයෙන් අවතැන් වූ මිනිස්සු තමන්ගේ වාසස්ථාන වෙත යන වෙලාවේ තමයි විල්පත්තුව කපනවා කියලා දේශප්‍රේමීන් නහින්න ගියේ. එහෙම අවතැන් වූ අය තමන්ගේම මුල් බිම්වලට යද්දී ඒ ස්ථාන කැලෑබද වීම නිසා බුකී පරිසරවේදීන් එදා නම් කිව්වේ ඒවා පෝෂණ කලාප වීම නිසා තමන්ගේ ඉඩම් උනත් කමක් නෑ, ගිය මිනිස්සු ඒවා අතහැර වෙන තැන්වලට යන්න ඕනි කියලා. එදානම් කිව්වේ ඔක්සිජන් නැතිව ජීවත් වෙන්න බැහැ කියලා. අද කැලෑ කපලා කරන විනාශය ගැන රටේ කිසිම කතිකාවක් නැහැ. හේතුව පරිසරය වුණත් රකින්න දඟලන්නේ, විනාශ කරන කෙනාගේ ජාතිය හා ආගම අනුව. පරිසරයත් අජෙන්ඩා එකක් වුණු නිසා, එදා රකින්න ගිය පරිසරය අද වැනසුවාට කමක් නෑ," යනුවෙන් ශිෆානා නියාස් සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබිණි.
"එදත් අදත් මතවාදයේ වෙනසක් නැහැ"
එසේ නම් පසුගිය කාලයේ විල්පත්තුව ඇතුළු පරිසර විනාශයන්ට එරෙහිව "වෙනසක් වෙනුවෙන්" කැපවුණු, ඒ සඳහා සිය ඡන්දය භාවිත කළ තරුණ ප්‍රජාව රැවටිල්ලකට ලක්ව තිබේද?
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් වියත්මග නියෝජනය කරන ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙරත් ඊට පසුවත් සිය පාර්ශ්වය පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දරන ලද මතවාදයේ කිසිඳු වෙනසක් සිදුවී නොමැති බවය.
දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සමාජ ජාල ඔස්සේ වන විනාශ "කෘත්‍රිමව උලුප්පා දක්වන" ස්වභාවයක් දක්නට ඇති බව රාජ්‍ය අමත්‍යවරයාගේ අදහස වී තිබේ.
කෙසේ වුවත් පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු මීගමුව සිට එළුවන්කුලම දක්වා වෙරළ තීරය අවට "දීර්ඝ කාලයක සිට" වන විනාශයන් සිදුවන බව පිළිගත යුතුව ඇතැයි ඔහු පැවසීය.
"එය අද ඊයේ ඇති වුණු දෙයක් නොවෙයි. වාණිජ අරමුණු උදෙසා කඩොලාන එළිපෙහෙළි කිරීමෙන් සිදු වෙන්නේ පරිසර හානියක්. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ ප්‍රදේශවල සිටින ප්‍රාදේශීය දේශපාලනඥයෝ තමන්ගේ හෙංචයියෝ යොදාගෙන මෙවැනි විනාශයන් සිදු කළා, සහ සිදු කරමින් පවතිනවා කියන දේ නොරහසක්,"
පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින තරුණ කණ්ඩායම්වලට සුදුසුම කඳවුර තවමත් තිබෙන්නේ අප සතුව. අපේ අඩුපාඩු තිබේ නම් ඒවාට ඇහුම්කන් දෙන්න සූදානම්,"
විල්පත්තුව සම්බන්ධයෙන් පැවත ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් නිර්මාණය වුණු මුස්ලිම් විරෝධයක්ය යන චෝදනාව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන බැහැර කරයි.
"කිසිසේත්ම එහෙම නැහැ. පරිසරය විනාශ කරනවා නම් ඒක සිංහලද, මුස්ලිම්ද, දෙමළද කියන එක වැදගත් නැහැ. ඊට වගකිවයුතු ඕනෑම කෙනෙකුට දඬුවම් ලැබිය යුතුයි,"
"පරිසරයට හානි නොවන අයුරින් මේ සංවර්ධන කටයුතු ඉදිරියට යා යුතුයි. එය පහසු කටයුත්තක් නොවෙයි. එය හැකිතාක් අවම කරගත හැකි නවීන ක්‍රම වෙත අපි යොමු විය යුතුයි. පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින තරුණ කණ්ඩායම්වලට සුදුසුම කඳවුර තවමත් තිබෙන්නේ අප සතුව. අපේ අඩුපාඩු තිබේ නම් ඒවාට ඇහුම්කන් දෙන්න සූදානම්," යනුවෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් පැවසීය.
ආනවිලුන්දාව

යෝජිත ඉස්සන් වගා ව්‍යාපෘතියක් සඳහා ආනවිලුන්දාව අභයභූමියේ බටහිර කොටසේ ඕලන්ද ඇලට ආසන්න ප්‍රදේශයේ අක්කර දෙකක පමණ කඩොලාන වගාවක් විනාශ කර ඇතැයි අගෝස්තු මස අග වාර්තා විය. ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විරෝධය පළ වීමත් සමග ඉස්සන් වගාව සඳහා භූමිය සැකසීමට යොදා ගත් බව පැවසෙන බැකෝ යන්ත්‍රයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි.
"2015 පසුව වසර 05 කට ආසන්න කාලයක කිසිඳු ක්‍රියාකාරකමකට යොදා නොගත්" ආනවිලුන්දාව අභයභූමියට අයත් එම ඉඩම් "අනවසරයෙන් සහ අනීතික ලෙස" නැවත ඉස්සන් වගා සඳහා යොදා ගැනීමට උත්සාහ ගෙන ඇතැයි එම වන විනාශය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාවේ දැක්වෙයි.
ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්තගේ ඉල්ලීම මත එය සිදුව ඇතැයි අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු ලබා දුන් ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ යයි වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක බදාදා (සැප්තැම්බර් 09) පාර්ලිමේන්තුවේ සභාගත කළ කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
හිටපු සභාපති ජගත් සමන්ත වත්මන් ආණ්ඩුවේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරෙකි.
ඉහත කී සැකකරුගේ ප්‍රකාශයට අනුව ජගත් සමන්තට අක්කර 1 ක ඉස්සන් කොටු 05 ක් ද අක්කර 2 ක ඉස්සන් කොටු 2 ක් ද අක්කර 3 ක ඉස්සන් කොටු 1 ක් ද සඳහා 2015 වසර තෙක් වාර්ෂික බලපත්‍ර සහ ජල ජීවී වගා අධිකාරියේ බලපත්‍ර තිබී ඇතැයි පෙනෙන බව අදාළ වාර්තාවේ දක්වෙයි.
වනාතවිල්ලුව


පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එළුවන්කුලම මංගලපුර ප්‍රදේශයේ අක්කර සියයකට වැඩි භූමි ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇතැයි ප්‍රදේශයේ පරිසර සංවිධාන පවසති. ලොකු කුඩා ගස් දහස් ගණනක් ඉන් විනාශ වී ඇති බව ඔවුහු කියා සිටිති. එහි තිබූ පලු, වීර, මාදං, තේක්ක ඇතුළු වටිනා ගස් වර්ග කපා දමා ඇති බවත් වට අඩි හත, අට ඉක්මවන වසර සිය ගණනක් පැරණි ගස් ඒ අතර ඇති බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.
"අද වන විට පුත්තලමේ විශාල පරිසර විනාශයක් වෙනවා. මේ විනාශය පටන් ගත්තේ මේ මැතිවරණයෙන් පස්සේ ආනවිලුන්දාවට අත තියලයි. ඊට පසු ස්ථාන කීපයකින්ම පරිසර විනාශ පිළිබඳ වාර්තා වුනා . මේ පරිසර විනාශය සුළු පටු නැහැ . මම දන්නා විදිහට විල්පත්තුවේවත් මෙතරම් විනාශයක් සිදු වුණේ නැහැ," යනුවෙන් පසුගිය 06 වෙනිදා එහි ගිය වයඹ හඬ පරිසර සංවිධානයේ සම්බන්ධීකාරක අජිත් ගිහාන් පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ හඬ පරිසර සංවිධානයේ සභාපති විල්පොත පේමානන්ද හිමියන් කියා සිටියේ, "මේ වන විට වනාතවිල්ලුව ප්‍රදේශයේ අක්කර 100 ක් පමණ කපා ගිනි තබා තිබෙනවා. දැනට එළිපෙහෙළි කරගෙන යමින් ඇති විශාල භූමි ප්‍රදේශයකුත් අපට සියැසින් දැකගන්නට ලැබුණා. පහුගිය කාලයේ පැවති ජන්ද විමසීම්වලදී කිව්වේ පොලිතින්වලින්වත් මේ පරිසරයට හානියක් සිදු නොවිය යුතුයි කියලයි. එතරම් අවධානයක් පරිසරය ගැන තිබුණා. පරිසරයට ආදරය කිරීමට ජනතාව යොමු විය යුතුයි යැයි ජනාධිපතිවරයා අවධාරණය කළා.එවැනි තත්ත්වයක් තුළ මේ මහා පරිසර විනාශයන් ගැන පියවරක් නොගන්නේ මන්දැයි යන්න අපට ගැටලුවක්," යනුවෙනි.
උන්වහන්සේ ඒ බව කියා සිටියේ "මහ මැතිවරණයෙන් පසු පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුව ඇති මහා පරිමාණ පරිසර විනාශයන් කිහිපයක් පිළිබඳ නීතිය ක්‍රියාත්මක නොවීම" සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව ශ්‍රී රත්නගිරි රජ මහා විහාරස්ථානයේ 09 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදීය.
මේ අතර ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සටහනක් තබමින් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේ එය අහඹු ගින්නක් නොව සිතා මතා කරන ලද ගිනි තැබීමක් බව නිරීක්ෂණය කළ හැකි බවය.
කල්පිටියේ කඩොලාන


කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ අක්කර හතරක පමණ භූමි ප්‍රදේශයක කඩොලාන විනාශයක් සිදුව ඇති බවට කල්පිටිය සර්ව ආගමික එකමුතුව චෝදනා කරයි. ඊට වගකිවයුතු අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එහි කැඳවුම්කරු බැදිවැව දියසේන හිමි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
"අද රටේ කොහේ හරි ගිහින් කොහෙද කියලා ඇහුවම පුත්තලම දිස්ත්‍රික්කයේ කියලා කියන්න බැහැ . එක පාරටම අහන්නේ එහෙ ඉන්නේ බුරුවෝද කියලයි. ඊළගට අහන්නේ එහෙ අයට ඔක්සිජන් ඕනේ නැද්ද කියලයි. ඒ හින්දා මම දැන් කොහේ හරි ගියාම පුත්තලමේ කියල කියන්නේ නැහැ. අද වන විට පුත්තලමේ විශාල පරිසර විනාශයක් සිදුවෙනවා,"
කඩොලාන විනාශයට ප්‍රදේශයේ දේශපාලනඥයෙකු සම්බන්ධ බවට ද උන්වහන්සේ චෝදනා කළහ.
'අපේ රට සහ ලොව වෙනත් රටවල්'
අනාගතය දකින බුද්ධිමත් ජාතියක් නම් අප කළ යුතුව ඇත්තේ දිනෙන් දින ඉහළ යන වන විනාශය අවම කර ගැනීමට වහා පියවර ගැනීම බව ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු ලෙස කටයුතු කරන ආචාර්ය ගෝතමී වීරකෝන් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
"කණගාටුවට, අවාසනාවට සිද්ධ වෙන්නේ එහි අනෙක් පැත්ත. දවසින් දවස මේ සිදුවෙන විනාශය වැඩි වෙනවා,"
ඇය දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව, අප්‍රිකාව සහ දකුණු ඇමරිකානු රටවල වනාන්තර ආශ්‍රිතව අධ්‍යයන කටයුතුවල නිරතව ඇති ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකි.
ශ්‍රී ලංකාව හා සැසඳීමේදී මහා පරිමාණ වන විනාශයන් සිදු වුණු වෙනත් රටවල් තිබුණ ද වර්ග කිලෝමීටර 65,000 කට සීමා වූ කුඩා දිවයිනක් වශයෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් වනාන්තර පද්ධති අහිමි කර ගැනීම දැරිය නොහැකි බව ආචාර්ය ගෝතමී වීරකෝන් පෙන්වා දෙයි.
"ලෝකයේ තිබෙන ඉතා කුඩා දිවයිනක් වශයෙන් වසර හැත්තෑවකට පෙර 66% ක් වුණු අපේ වන ගහනය, 2020 වෙනකොට කොපමණ පහත වැටිලද? ඒ වගේම ප්‍රාථමික වනය (Primary forests) ගත් විට අපට ඉතිරි වෙලා තිබෙන්නේ ස්වල්පයයි. ඒ ටිකවත් ආරක්ෂා කර ගත්තේ නැතිනම් තව අවුරුදු විස්සකින්, පනහකින්, සීයකින් වෙන දේ හිතන්නත් අපහසුයි,"
"අනෙක් දේ තමයි ශ්‍රී ලංකාව කියන්නේ ජෛව විවිධත්වය අතින් ලෝකයේ ඉහළින්ම (Hotspot) තිබෙන රටක්. එතකොට අපි එහි ජීවත් වෙලා අපට තිබෙන සීමිත ඉඩ ප්‍රමාණය ඇතුළත ඒ ජෛව විවිධත්වය රැක ගත්තේ නැතිනම් මිල කළ නොහැකි මහා සම්පතක් අපට, අපේ ඉදිරි පරම්පරාවට අහිමි වෙන්නේ. ඒ අතින් බලන විට අප ජාතියක් වශයෙන් ඉතාම කණගාටුදායක තත්ත්වයකට මුහුණ පා සිටිනවා වගේම ඉතාම ලැජ්ජා සහගත තත්ත්වයකට පත් වෙලා තිබෙනවා,"
මම සිංහරාජය දකින්නේ පණ ඇති දෙයක් ලෙසයි. ඒ හැම ගහකම, ඒ හැම කොලයකම, හැම තැනකම තියෙන්නේ ලංකාවේ අපේ ප්‍රාණය..."
උදාහරණයක් වශයෙන් සිංහරාජ රක්ෂිතය තවදුරටත් මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑමට ලක් වීම තුළ එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අනතුරක් පවතින බව ඇය පවසයි.
"එතකොට ලෝකයා ඉදිරියේ රටක් වශයෙන් අප පත්වෙන අපහසුතාව සහ ලැජ්ජාව ගැන අවධානය යොමු කළ යුතුයි. අපට තිබෙන දේ රැක ගන්න බැරි ජාතියක් විදිහට තමයි ඉන් පස්සේ අපිව ලේබල් ගැහෙන්නේ,"
"අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ මාතෘ භූමියේ උෂ්ණත්වය, දේශගුණය, වර්ෂාපතනයට හැඩගැසෙමින් ඔබ, මා සමග ජීවත් වූ පුද්ගලභාවයක් සහිත කෙනෙක් තමයි සිංහරාජය. මම කියන්නේ නැහැ ඒක කැලයක් කියලා, මම සිංහරාජය දකින්නේ පණ ඇති දෙයක් ලෙසයි. ඒ හැම ගහකම, ඒ හැම කොලයකම, හැම තැනකම තියෙන්නේ ලංකාවේ අපේ ප්‍රාණය. අපි බොන වතුර ටික, අපිට ලැබෙන වැස්ස, ඔක්සිජන් ටික සපයන්නේ සිංහරාජය ඇතුළු අපේ රටේ වන සම්පතයි,"
"වෙනත් රටවල නායකයෝ මේ වන සම්පත රැකගන්න කොතරම් නීති සම්පාදනය කර තිබෙනවද, හැකි පමණින් කොතරම් මුදල් වැය කරනවද, ඊට අදාළ පර්යේෂණ කරනවද, සංවේදී කලාපයක කෙරෙන ඉතා කුඩා අලුත්වැඩියාවකදී පවා පරිසර අධ්‍යයන වාර්තා පිළිබඳ විශ්වාසය තබනවද කියන කාරණය ගැන අපේ සැලකිල්ල යොමු විය යුතුයි,"
" මිනිස්සුත් ජීවත් වෙන්න ඕනි. ගහකොලත් රැකෙන්න ඕනි. ඒ දෙකේ සමතුලිතතාවක් පවත්වා ගන්නත් ඕනි. ගම්මාන, ගොඩනැගිලි, ව්‍යාපාර ගොඩ නගන්න පුළුවන් හැබැයි අවුරුදු මිලියන ගණනක් පුරා හැදුනු වනාන්තර අපිට අලුතින් හදන්න බැහැ," යනුවෙන් ආචාර්ය ගෝතමී වීරකෝන් වැඩිදුරටත් පැවසීය.
මේ ගැනත් කියවන්න:











