විල්පත්තුවේ ගස් කැපුවේ කවුද? රිෂාඩ් බදියුද්දීන් ගේ පිළිතුර

විල්පත්තුව නැවත කරළියට පැමිණ තිබේ. ඊට හේතුව කුමක්දැයි තවම පැහැදිලි නැත. ඒ පිටුපස සිටින්නේ කවුරුන්දැයි ඇතැම්හු ප්‍රශ්න කරති.
කෙසේ නමුත් ෆේස්බුක් ප්‍රමුඛ සමාජ මාධ්‍ය හරහා විල්පත්තුව පිළිබඳව සමාජ කතිකාවක් ඉස්මතු වී තිබේ.
විල්පත්තුවේ වන සංහාරයක් සිදු වන බවට එල්ලවන චෝදනා පිළිබඳව ජනමාධ්‍ය අවධානය යොමු වූයේ මීට වසර කිහිපයකට පෙර ය.
මෙම චෝදනා පිළිබඳව කතා කරද්දී රිෂාඩ් බදියුද්දීන් ඇමතිවරයාට සෘජුවම ඇඟිල්ල දිගුකර තිබුණි.
ලන්ඩනයේ සංචාරයක යෙදී සිටි රිෂාඩ් බදියුද්දීන් ඇමතිවරයා මීට දෙවසරකට පමණ ඉහතදී බීබීසී මැදිරියට පැමිණි අවස්ථාවේ දී, බීබීසී සිංහල සේවය විල්පත්තුව පිළිබඳව විමසීමක් කළේය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
ඊට පිළිතුරු දෙමින් බදියුද්දීන් ඇමතිවරයා කියා සිටියේ විල්පත්තුව අවට ජනතාව නැවත පදිංචි කරවීම සඳහා ගස් කැපීම සිදුකරන ලද්දේ තමන් නොව, ආණ්ඩුව විසින් බවය.
"ඒක මිනිස්සු නෙවෙයි සුද්ද කළේ. ආණ්ඩුව තමයි සුද්ද කළේ. ආණ්ඩුවක් හැටියට එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාව සුද්ද කරලා, එහෙම නැත්තං දැව සංස්ථාව, එහෙම නැත්තං වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ ගොල්ලෝ තමයි සුද්ද කරලා ඒ ජනතාව පදිංචියට ඇරියේ."
"දැන් ඒ ඔක්කොම අමතක කරල, හංගල මට විරුද්ධව චෝදනාවක් එල්ල කරනවා." යනුවෙන් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කියා සිටියේ ෆේස්බුක් ඔස්සේ සජීවී සංවාදයකට එක්වෙමිනි.
"ආණ්ඩුවේ වැඩක්"
අවතැන් වූ පිරිස් නැවත පදිංචි කිරීම රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයාට අයත් කාර්යභාරයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබුණි.
කලකට ඉහතදී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කියා සිටියේ විල්පත්තු වන සංරක්ෂිතය අවට ඉදිකිරීම් පිළිබඳ අදහස් දක්වමිනි.
"ඒක ආණ්ඩුවේ වැඩක්. ඒක රිෂාඩ් බදියුද්දීන්ගේ වැඩක් නෙවෙයි. රිෂාඩ් බදියුද්දීන් ඇවිල්ලා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා නෙමෙයි අඩුම තරමේ." පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.
"කැලෑ කපමින් පදිංචි කරමින්"
විල්පත්තු වනයේ පමණක් නොව රටේ බොහෝ පළාත්වල පරිසර විනාශයක් වෙමින් පවතින බවත් අනුර කුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"බොහෝ පළාත්වල දේශපාලනඥයන් තම දේශපාලන අධිකාරි බලය උපයෝගී කර ගෙන බොහෝ පළාත්වල කැලෑ කපමින් මිනිස්සු පදිංචි කරමින් ඉන්නවා" ඔහු චෝදනා කර තිබේ.
නමුත්, විල්පත්තුව රක්ෂිතය තුළ කිසිසේත්ම වන විනාශයක් සිදු නොමැති බව අවධාරණය කළ බදියුද්දීන් අමාත්‍යවරයා පවසන්නේ යුද්ධය නිම වීමෙන් අනතුරුව ඊට උතුරින් පිහිටි ප්‍රදේශයට නැවතත් ජනතාව පදිංචියට පැමිණි බවය.
"ඇත්තටම විල්පත්තුව තියෙන්නේ පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. අපේ ජනතාව පදිංචියට යන්නේ මන්නාරම දිස්ත්‍රික්කයට. ඒ නිසා මට හෝ මේ ජනතාවට විල්පත්තුවත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. බොරු චෝදනාවක් එල්ල කළේ අපිට."
ඔහු තවදුරටත් කියා සිටියේ "කැලෑව කපල පදිංචි වෙනවනම් ඒක වැරදියි. මේ ජනතාව ගියේ පාරම්පරික ගම්වලට. අවුරුදු විස්සකට තිහකට විතර පස්සේ ඒ ගම්වලට යනකොට ඒ පළාතේම ගස් වැවිල තියෙන්නේ," යනුවෙනි.
"සිංහල - මුස්ලිම් භේදයක්"

ඡායාරූප මූලාශ්‍රය, Google MAP
සිංහල සහ මුස්ලිම් ජනතාව අතර භේදයක් ඇතිකිරීම සඳහා දකුණේ සුළු පිරිසක් එකතුවී තමන්ට චෝදනා එල්ල කරමින් සිටින බවට බදියුද්දීන් ඇමතිවරයා චෝදනා කළේය.
"මේක ලොකු කුමන්ත්‍රණයක්. සිංහල මුස්ලිම් කලබලයක් ඇති කරන්න පොඩි කණ්ඩායමක් වැඩ කරනවා. මුස්ලිම් ජනතාවට විරුද්ධව ගෙන යන සටනක් මේක." ඔහු පැවසීය.
තමන්ගේ ඡන්ද පදනම තර කරගැනීම සඳහා ජනාවාස ඇතිකරමින් මුස්ලිම් ජනතාව එම ප්‍රදේශවල පදිංචි කරවන බවට එල්ලවන චෝදනා පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ නැවත පදිංචිකරවීම් සිදුකර ඇත්තේ ප්‍රාදේශීය බලධාරීන් විසින් සියලු ලිපිලේඛන පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව බවය.
නාගානන්ද
එල්ටීටීඊ තර්ජන හමුවේ තම නිවෙස අතහැර පලා ගිය කෙනෙකු යුද්ධය නිම වීමෙන් අනතුරුව නැවත තම නිවස කරා පැමිණීම තමන්ට වැළක්විය නොහැකි බව ද බදියුද්දීන් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
"පදිංචියට ආපු කට්ටියට ආණ්ඩුවේ සල්ලිවලින් තමයි මේ ඉඩම් සුද්ද කරල දීල තියෙන්නේ. දැව සංස්ථාවෙන් තමයි ඒ අයගේ ඉඩම්වල වැවිල තිබුණු ගස් කපල දුන්නේ. එහෙම නැතුව මේ මිනිස්සු හිතාමතා ගස් කපල පදිංචියට ගියේ නැහැ." ඇමතිවරයා පැවසීය.
මේ වනවිට, විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර ඇතැයි පැවසෙන "අනවසර ජනාවාස" ඉවත් කොට එම ඉඩම් යළි රජයට පවරා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ.
අධිකරණය ඒ සඳහා අවසර ලබා දුන්නේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුවය.
අදාළ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පුද්ගලයන් අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද සිටී.









