විල්පත්තුව: ඇමති රිෂාද්ගෙන් අභියෝගයක්

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ තමා විසින් එකඳු මුස්ලිම් පවුලක් හෝ පදිංචි කළ බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් බව අමාත්‍ය රිෂාද් බදියුදීන් පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ආනන්ද සාගර හිමියන් පසුගිය සෙනසුරාදා දින 'විල්පත්තුවේ සිදු වන වන සංහාරයට' අමාත්‍යවරයා සම්බන්ධ බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දක්වමින්.

විල්පත්තුව, සිංහරාජය සහ යාල වනෝද්‍යාන ඇතුළු මෙරට ස්වාභාවික වනාන්තර විනාශයට විරෝධය පා පරිසර සංවිධාන එකමුතුව සංවිධානය කළ පාගමනක් හා විරෝධතාවක් පසුගිය සෙනසුරාදා කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්විණි.

එහිදී විරෝධතාකරුවන් විල්පත්තුවේ සිදු වන බව කියන වනාන්තර විනාශයට ඇඟිල්ල දිගු කළේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් වෙතටයි.

චෝදනා

විරෝධතාවට එක්ව සිටි ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඉලක්ක කරමින් චෝදනා ගණනාවක්ම ඉදිරිපත් කළ අතර විල්පත්තුවේ සිදු වන වන විනාශයට අමාත්‍යවරයා සෘජු ලෙස වගකිවයුතු බවයි ප්‍රකාශ කළේ.

"පැහැදිලිවම මේ රටේ වන විනාශයක් රිෂාඩ් බදුර්දීන් සිදු කරනවා. ඔහුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා අද විශාල වන විනාශයක් සිදු වෙනවා"

මෙම චෝදනාවට පිළිතුරු දෙමිනුයි රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා අද විල්පත්තු ජාතික වනෝද්‍යාන තුල එකඳු මුස්ලිම් පවුලක් හෝ තමන් පදිංචි කළ බවට ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බව ප්‍රකාශ කළේ.

යුද්ධය නිසා අවතැන්වූ මුස්ලිම් ජනතාව පදිංචිකරන්නේ ඔවුන්ගේ මුල් ඉඩම් වල පමණක් බව ප්‍රකාශ කල අමාත්‍යවරයා එම ඉඩම් විල්පත්තුවට අයිති නොමැති බවයි කියා සිටියේ.

'ජාතිවාදී'

මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට විරුද්ධ "ජාතිවාදී" පිරිස් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තමා වෙත එල්ල කෙරන චෝදනා ගැන කොමිසමක් පත් කර හෝ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර මතු වී ඇති පරිසර ගැටළු සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණ ආයතන ප‍්‍රධානීන් සහ පරිසරවේදීන් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ අඟහරුවාදා සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදීද විල්පත්තු රක්ෂිතයේ සිදු වන බව කියන වන විනාශය පිළිබඳ පරිසරවේදීන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට තිබේ.

පරිසරවේදීන්

විල්පත්තු රක්ෂිතයේ සිදු වෙමින් පැවති වන විනාශය ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් අඩාල වුව ද නැවතත් එම විනාශය විටින් විට තැනින් තැන ආරම්භ වී තිබෙන බවයි පරිසරවේදීන් ජනාධිපතිවරයාට පෙන්වාදී තිබෙන්නේ.

පරිසරවේදීන්ට සහ රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ කිසියම් තැනක සිදු වන පරිසර විනාශයක් පිළිබඳ ක්ෂණිකව දැනුම් දිය හැකි කමිටුවක් ඉදිරි දින දෙක තුළදී පත් කිරීමට මෙහිදී තීන්දු කෙරුණු අතර පරිසර, වනජීවි යන අමාත්‍යාංශ වලින් සහ යුද හමුදාවේ නියෝජිතයෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට තීරණය කොට තිබේ.

වනාන්තර, වෙරළ ඇතුළු ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරියේදී ත‍්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය.