කොරෝනා වෛරසය: තුන්වරක් රෝහල්ගත වූ තරුණයකුගේ මව බීබීසී වෙත කියූ 'අනුවේදනීය කතාව'

- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, BBC සිංහල
"මගේ පුතාට කොරෝනා හැදුනේ තුන්වෙනි පාරට. දැන් පුතාට කන්නත් බැරිලු. මම ලෙඩ වෙයි කියලා පුතා මට හරි විස්තරයක් කියන්නේ නෑ. අනේ මගේ පුතා මේ විදියට ලෙඩ වෙන්නේ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ," යනුවෙන් පුත්තලමේ ජීවත් වන මවක් හැඬු කඳුලෙන් බීබීසී සිංහල සේවයට පැවසුවාය.
කොරෝනා වෛරසය ආසාදනය වූ ඇයගේ පුතා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහු 23 හැවිරිදි තරුණයෙකි.
ඔහුගේ මව නිවසේ නිරෝධායනයට ලක් කර ඇත. එම නිවසේ ජීවත් වන්නේ ද මව පමණකි.
"මටත් ගෙයින් එළියට බහින්න විදියක් නෑ. ඔක්තෝබර් 10 වෙනකොට මමත් මාසයක් ගෙදර කොටුවෙලා," යනුවෙන් මව පැවසුවේ පුතුගේ අසනීප තත්වය ගැන සොයා බැලීමට තමන්ට ද මේ මොහොතේ හැකියාවක් නොමැති වීම තුළ වඩාත් අසරණ වී සිටින බව සිහිපත් කරමිනි.
ඇය පවසන කතාව සහ එහි වෛද්‍ය විද්‍යාත්මක තත්වය ගැන බීබීසී සිංහල සේවය විමසීමක් කළේය.
එම තරුණයා ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ අගෝස්තු 16 වැනි දාය. කටුනායක ගුවන්තොටුපොළේදී කළ PCR පරීක්ෂණය අනුව ඔහු කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු ලෙස හඳුනා ගැනීම නිසා අගෝස්තු 17 වැනිදා වැලිකන්ද රෝහලට ඇතුළත් කළ බව ඔහුගේ මව පැවසුවාය. ඒ අවස්ථාවේදී සුවය ලැබූ ඔහු සැප්තැම්බර් 10 වැනිදා නිවසට පැමිණ තිබේ.
"පුතා ගෙදර ආවේ ගෙදර දවස් 14ක් නිරෝධායනය වෙන්න හිතාගෙන. ඒත් සැප්තැම්බර් 17 පාන්දර එකට විතර හුස්ම ගන්න බැරුව මගේ පුතාට අමාරු වුණා," යනුවෙන් දිගු සුසුමක් හෙළමින් මව පැවසුවාය.
ඒ අවස්ථාවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා බලධාරීන්ට දැනුම්දී පසුදින රෝහල්ගත කර යළි PCR පරීක්ෂණයක් සිදු කර තිබේ. එහිදී එම වාර්තාව 'පොසිටිව්' වී ඇත.
දෙවන වරට සුවය ලැබූ ඔහු සැප්තැම්බර් 25 වැනිදා යළි නිවසට පැමිණියේය.
"මේ ඔක්තෝබර් 04 වැනිදා පුතාට ආයෙත් අමාරු වුණා. ඒ පාරත් ගෙනිහින් බලනකොට ආපහු PCR පොසිටිව්. ඒ කොරෝනා මතුවුණේ තුන්වෙනි වතාවට. තවම මගේ පුතා ඉස්පිරිතාලේ," යනුවෙන් මව කියා සිටියාය. එම තරුණයා මේ වන විට ඉරණවිල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියි.


නිවසේ තනිවූ මව බලන්න ලොකු පුතා වැට ළඟට එයි
කොරෝනා වෛරසය ආසාදනය වූ පුත්‍රයා සැප්තැම්බර් 10 වැනිදා පළමු වරට නිවසට පැමිණීමෙන් පසු මවට ද දින 14ක් නිවසේ නිරෝධායනයට ලක්වන්නට සිදු විය. එදින සිට මේ දක්වා මවට නිරෝධායන කාලය අවසන් කරන්නට හැකි වී නැත. මව නිවසේ තනිව ජීවත් වේ.
ඉතා දුරබැහැර ප්‍රදේශයක ජීවත් වන වැඩිමහල් පුතු මවට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන පසුගිය දිනක පැමිණ තිබුණි.
"ලොකු පුතා එදා ආවෙත් ග්‍රාම සේවක මහත්තයාටයි, PHI මහත්තයාටයි දැනුම් දීලා. නැතිනම් ගමේ මනුස්සයෝ කියයි ගෙදර ඇවිත් ඉඳල ගියා කියලා. ලොකු පුතා වැට ළඟට ඇවිත් අම්මේ කියලා බඩු ටික තියලා ගියා. අම්මලා එහෙමත් පාර ළඟට බඩු ගෙනත් දාලා යනවා. නංගි කෙනෙකුත් ඇවිත් අඩුපාඩු බලනවා. අපි පුළුවන් තරම් පරිස්සම් වෙනවා. අපි කාටත් කොරෝනා බෝ කරන්නේ නෑ," යනුවෙන් මව සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කර ඇති දේවල් ඇසෙන විට හද කම්පාවන බව පවසමිනි.
රෝගී පුතාගෙන් අම්මාට ලැබෙන 'ආදරණීය ඇමතුම'
ප්‍රතිකාර ලබන පුතුගෙන් මවට දුරකථන ඇමතුම් ලැබෙයි. ශරීරය අප්‍රාණික බවක් හා කෑම අරුචිය තදින් දැනෙන බව ඔක්තෝම්බර් 08 වැනිදා පස්වරුවේ පුතු පැවසූ බව මව සිහිපත් කළාය.
"පුතාගෙන් කෝල් එකක් එනකං තමයි මම බලාගෙන ඉන්නේ. වීඩියෝ කෝල් එකක් ගන්නවත් එතනට සිග්නල් නෑ. මට ඊයේ කිවුවා පළතුරු ටිකක් නම් කන්න ආසයි කියලා. ඒත් මට යවන්න විදියක් නැහැනේ," යනුවෙන් මව පවසන්නේ තමන් මේ අවස්ථාවේදී දැඩි ලෙස අසරණවී සිටින බවය.
මවට දෙවරක් PCR නෙගටිවූ
අවස්ථා දෙකකදී PCR පරීක්ෂණ වලට ලක් කළ අතර එම අවස්ථා දෙකේදීම කොරෝනා වෛරසය අසාදනය වී නැතැයි තහවුරු වූ බව මව බීබීසී සිංහල සේවයට පැවසුවාය.
"පුතාගේ ළඟින් හිටියේ මම. එහෙනම් ඉස්සලම කොරෝනා හැදෙන්න ඕනා මට. ඒත් මට එහෙම ලෙඩක් නෑ. අනික මේක මගේ පුතා කැමැත්තෙන් හදා ගත්ත ලෙඩකුත් නෙමෙයි. අපි අනිත් අය ගැන හිතලා කොහොමත් පරිස්සම් වෙනවා," යනුවෙන් මව පැවසුවාය.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මැදිහත් වීම මත ඇයට අවශ්‍ය ජලය ලැබෙන බවත්, ආහාර ප්‍රමාණවත් පරිදි නිවසේ ඇති බවත් ඇය පවසයි.
"පුතා හොඳවෙලා ආවම මම ආයෙත් දවස් 14ක් නිරෝධායනය වෙන්න ඕනා. මට ඒ දවස් ගාණ ගැටලුවක් නෑ. මම බලාගෙන ඉන්නේ පුතා ගෙදර එනකං," යනුවෙන් මව අවසානයේදී කියා සිටියාය.
වෛද්‍ය විද්‍යාත්මක පැහැදිළි කිරීම

අගෝස්තු 16 වැනිදා සිට ඔක්තෝම්බර් ඔක්තෝබර් 04 වැනිදා අතර කාලය තුළ පුත්තලමේ තරුණයෙකුට තෙවරක් කොරෝනා වෛරසය ආසාදනය වූ බව කියන සිදුවීම ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ ගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළේය.
කොරෝනා වෛරසයට අදාළ පර්යේෂණ සිදු කරන ඇය සඳහන් කළේ, මෙය තුන් වරක් රෝගය ආසාදනය වීමක් නොව පළමු අවස්ථාවේ ශරීරගත වූ වෛරසය යළි මතුවීමක් බවය.
"මේ වෛරසය සමහරුන්ගේ ශරීරයට ඇතුළු වුණහම දිගු කාලයක් ශ්වසන තරලවල තියෙනවා. මුල් දින 7ත් 10ත් අතර තමයි වෛරස අධික ප්‍රමාණයක් ශ්වසන තරලයේ තිබිලා අනිත් අයට බෝ වෙන්නේ. ඊට පසු අඩු වෛරස ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එවිට PCR පරීක්ෂණවල එක එක ප්‍රතිපල දෙන්න පුළුවන්. ඒක හින්ද තමයි Intermittent Shedding කියන්නේ. සමහර දාට PCR පරීක්ෂණයට අහුවෙන වෛරස ප්‍රමාණයක් එළියට දාන්න පුළුවන්. සමහර දාට වෛරස ප්‍රමාණය අහුවෙන්නේ නැති තරමට අඩුයි," යනුවෙන් මහාචාර්යවරිය පැවසුවාය.
"මේක මේ වෛරසයට විතරක් නෙමෙයි සාස්, මර්ස් වෛරස වලත් දකින්න පුළුවන්. මේ පුත්තලමේ තරුණයාට කොරෝනා තුන් සැරයක් පොසිටිව් වුණේ නෑ. එකම ආසාදනයේ වෛරස ශ්වසන තරලයේ යළි මතුවීමක් වෙලා තියෙන්නේ," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.












